බොරලැස්ගමුව වේරහැර සුපිරි වෙළෙඳසලකින් රුපියල් 2240ක් වටිනා තේ කොළ පැකට් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. මෝදර පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිල ඇඳුමින් සැරසුණු සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 14 වැනි දින දහවල් 11.45ට පමණ සුපිරි වෙළෙඳසලට ගොස් රුපියල් 1600ක ග්‍රෑම් 490ක් බර තේ කොළ පැකට්ටුවක් සහ රුපියල් 640ක ග්‍රෑම් 190ක් බර තේ කොළ පැකට්ටුවක් ඔහු රැගෙන යන ලද බෑගයේ දමාගෙන මුදල් නොදී වෙළෙඳසලෙන් පිටතට යෑම සඳහා සූදානම් වීමේදී එහි සේවකයන් විසින් සොරකම් කරන ලද භාණ්ඩ සමඟ පොලිස් නිලධාරියා රඳවාගෙන ඒ බව බොරලැස්ගමුව පොලිසියට දැනුම් දීමක් සිදු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව එම වෙළෙඳසල වෙත ගිය පොලිස් නිලධාරින් පිරිසක් සුපිරි වෙළෙඳසලේ සේවකයන් විසින් රඳවාගෙන සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා මෙම සොරකම සඳහා යොමු වී ඇත්තේ සිය රියැදුරු බලපත්‍රය අලුත් කරවා ගැනීම සඳහා වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී බවට විමර්ශනවලදී තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ගාල්ල වඳුරඹ ලේල්වල පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.