Home » ජනපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව දුන් නිර්දේශ නීති විරෝධියි
විනිසුරු උපාලි අබේරත්න ජනපති කොමිසමෙන්

ජනපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව දුන් නිර්දේශ නීති විරෝධියි

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

by mahesh
February 16, 2024 1:00 am 0 comment

යහපාලන සමයේදී (2015-2019) සිදූ වූ බව කියන දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ මුළුමනින්ම නීති විරෝධී බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (15) සඳහන් කළේය.

අදාළ කොමිසම හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදී මෙම නිර්දේශ සිදු කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තමන්ට එරෙහිව කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවකට අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණ.

විජිත් මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවීය.

එහිදී හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

නීතියක් මඟින් ස්ථාපනය නොකරන ලද දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33ක් නීති විරෝධී ලෙස යොදවන ලදැයි එකී කොමිෂන් සභාව විසින් සමන් ඒකනායක මහතාට චෝදනා කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙස ද රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ද කොමිසම විසින් නිර්දේශ කර තිබූ බව ඒ මහතා කීය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් සමන් ඒකනායක මහතා ක්‍රියා කරන ලද්දේ සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව බව ද දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නීත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බවද ඔහු පෙන්වා දුන්නේය. කැබිනට් මණ්ඩලය විසින් සමන් ඒකනායක මහතා වෙත කරන ලද නියෝගය අනුව ඒ සඳහා මුදල් වෙන් කරන ලද බව ද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.

එමෙන්ම, ඔහුට විරුද්ධව මේ තරම් බරපතළ චෝදනාවක් එල්ල කරන කොමිසම, මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ ලබා නොදීම මඟින් ස්වාභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කොට ඇති බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ටී. සින්නයියා, හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා නම් කර සිටිති.

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු නීතිවේදීන් පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT