Home » දැරියන් දෙදෙනකු අපයෝජනය කළ ගුරුවරයාට හා රියැදුරුට වසර 17ක සිරදඬුවම්

දැරියන් දෙදෙනකු අපයෝජනය කළ ගුරුවරයාට හා රියැදුරුට වසර 17ක සිරදඬුවම්

by mahesh
February 16, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ, හැටන් මධ්‍යම විශේෂ

කොටගල සහ වලපනේ යන ප්‍රදේශවල බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකු අපයෝජනය කළ ගුරුවරයකුට සහ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 17ක් සහ වසර 10ක් බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා (14) දින නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම කරනු ලැබූවේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි එම්. වෛත්‍යනාදන් (43) සහ වලපනේ ප්‍රදේශයේ සිසුපාලන් පුෂ්පරාජ් (35) යන ත්‍රිරෝද රථ රියැදුරාටයි.

2019 වසරේ පාසල් සිසුවියකට තුන්වතාවක් ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ පැමිණිල්ල හේතුවෙන් එම්. වෛත්‍යනාදන්ට එරෙහිව දිඹුලපතන පොලිසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

2019 වසරේ සිට පසුගිය වසර පහ පුරාවටම විභාග වූ ඔහුගේ නඩුවේ අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මත ඔහු වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එම නඩු තින්දුවට අමතරව වින්දිත සිසුවියට ලක්ෂ පහක වන්දියක් සහ අධිකරණයට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසත් එසේ නොකළහොත් තවත් වසර තුනයි මාස හයක අමතර සිරදඬුවමක් ලබාදීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

2013 වසරේ වලපනේ ප්‍රදේශයේ පදිංචි සිසුපාලන් පුෂ්පරාජ් යන චුදිත ඔහුගේ ඥාති බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ වලපනේ පොලිසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ 2013 වසරේ පවරා තිබූ නඩුවක සාක්ෂි පදනම් කර ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා එම චුදිතට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර වින්දිත සිසුවියට ලක්‍ෂ 07ක වන්දි මුදලක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසත්, එසේ එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් දඬුවම් කාලයට අමතරව තවත් මාස හයක සිරදඬුවමක් ලබාදීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

මෙම නඩු දෙකම වෙනුවෙන් රජයේ අධි නීතිඥ අරේන්ද්‍ර ජයසිංහ මහතා පෙනී සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT