– ඉදිරියේදී මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියත්
– උතුරුමැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමටත් රජයේ අවධානය
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මේ ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවටද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැති බවද කියා සිටියේය. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ඊයේ (15) පෙරවරුවේ එක් වෙමිනි.
දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය සහාය මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. එහි පළමු අදියර අනුරාධපුර මහකනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:
“මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාර ගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය සැපයීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත් වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මේ ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කඳුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප ඒ ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මේ කාර්ය දෙකම අද ජීවන් තොණ්ඩමන් මහතා භාර ගෙන ඉටු කරමින් සිටිනවා.
“අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මේ ප්‍රදේශවල ජනතාව පීඩා විඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලයද සැපයිය යුතුයි. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැති වෙයිද කියා ඇතැමුන් තුළ සැකයක් මතුව තිබෙනවා. එහෙත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප ඒ පිළිබඳ වගබලා ගන්නවා. මේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍යයි. ඒ වගේම නිවාසවලට ජලය අවශ්‍යයි. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම පානීය ජල අවශ්‍යතාද සපුරාලමින් ඒ ගැටලු දෙකම විසඳා දෙන බවට මා පොරොන්දු වෙනවා.
“පසුගිය ආර්ථික අර්බුදය නිසා අපට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ හෝ මේ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් සපයා දී මෙම වැඩකටයුත්ත අවසන් කිරීමට හැකිව තිබෙනවා. අප මේ රට භාර ගන්නා අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. පළමුව සිදු කළ යුතුව තිබුණේ මේ අවශ්‍යතා ඉටු කිරීමයි. යුදමය අවස්ථාවල ආණ්ඩු කඩාවැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මේ මූලික අවශ්‍යතා සපුරාලීමයි. ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රුසියානු විප්ලවයේදී ලෙනින් ප්‍රකාශ කළා. ඔහු ඒ අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. බලය ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ. අපත් පළමුව කටයුතු කළේ රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕනු කෙනකුට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. දෙවනුව අප ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සඳහා අපට වී වගා කරන්න අමෙරිකාවෙන් පොහොර දුන්නා. 2022, 2023 වගා කටයුතුවලින් අපට හොඳ අස්වැන්නක් ලැබුණා. අප ජනතාවට අවශ්‍ය සහල්, පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය දුන්නා. තෙවනුව තිබුණේ ඉඩම් දීම. අපි ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියද ඒ ජනතාවට දීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.
“රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව භෝග හඳුන්වා දීම සිදු වනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි?
“උතුරුමැදට ජලය සපයන මේ ව්‍යාපෘතිය ඉතා සුවිශේෂ කාර්යයක් බව කිව යුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම උතුරුමැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා. මේ ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේ නම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මේ පළාත පත් කරන්න පුළුවන්. ඒ වගේම වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මෙමඟින් විශාල ආර්ථික ශක්තියක් අත් කරගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොද අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් මා සියලු දෙනාගේ සහාය ඉල්ලා සිටිනවා.”
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා:
“මේ අමාත්‍යාංශය භාර ගන්නා විට ජල සබඳතා 10,000ක් වත් දීමට නොහැකි වනු ඇතැයි සමාජ මතයක් ගොඩනඟා තිබුණා. පසුගිය වසරේ පමණක් ජල සබඳතා 103,000ක් දීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසර අවසානය වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.ආර්ථිකය නිවැරදි මාවතට යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ප්‍රශංසාව හිමි විය යුතුයි. වතු ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටිනවා.”
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා:
“මේ ව්‍යාපෘතියෙන් පවුල් 25,000ක පානීය ජල අවශ්‍යතාව සපුරාලිය හැකියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට මේ පානීය ජල ව්‍යාපෘතිය මඟින් අස්වැසිල්ලක් ලැබෙනවා. මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රදේශයේ පවුල් 55,000කට පානීය ජලය සැපයීමට අපේක්ෂා කරනවා. වෙනත් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුළ ගොවිතැන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරමින් මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියරට බාධා ඇති කරන්න උත්සාහ කරනවා.”
වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා:
“ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප පසුගිය සතියේ අප වගකිව යුතු සියලු නිලධාරීන් කැඳවලා මේ පිළිබඳ සාකච්ඡා කළා. යම් පිිරිසක් අගතියට පත් වනවා නම් ඒ දේ කළමනාකරණය කර, නිවැරදි දේ ජනතාවට දීම අපේ වගකීමයි. යම් පිරිසක් ආත්මාර්ථකාමි ලෙස මේ දෙස බලා දේශපාලන වාසි අත් කරගැනීමට උත්සාහ කරනවා නම් එය රටටම කරන අපරාධයක්.”
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සභාපති ටනකා අකිහිකෝ මහතා:
“මේ ජල ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 5,166ක් ජපන් අරමුදල් සපයා තිබෙනවා. අද මේ අවස්ථාවට සහභාගි විමට ලැබීම මට මහත් සතුටක්.
ඒ වගේම මේ ඓතිහාසික පුරවරය දැකබලාගැනීමට මට අවස්ථාව ලැබුණා. එය මම මහත් භාග්‍යයක් කොට සලකනවා.”
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්, හිටපු ඇමැති පී. හැරිසන්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය සහ අනුරාධපුර අතිරේක