Home » ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලංකාවට ජයිකා සහාය දිගටම

ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලංකාවට ජයිකා සහාය දිගටම

by mahesh
February 16, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික සංවර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් (JICA) ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජයිකා සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජයිකා ආයතනයේ සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (14) පැවැති හමුවේ දී අකිහිතෝ මහතා මේ බව සඳහන් කළේය. 1968 වසරේ (JICA) ජයිකා ශ්‍රී ලංකා ආධාර සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දා සිට දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට දුන් සහයෝගය පිළිබඳව අගමැතිවරයා ආචාර්ය අකිහිතෝ මහතාට ස්තූතිය පළ කළේය. ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවීන් සහ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට නව ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අගමැතිවරයා ජයිකා ආයතනයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ රෝහල්වල සූර්ය බලශක්ති ඒකක පිහිටුවීම ඇතුළත් නව පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සඳහා JICA ප්‍රදානයක් දෙන බව ආචාර්ය අකිහිතෝ මහතා පැවසීය.

ජයිකා ආයතනය විසින් අනුරාධපුරයේ ආරක්ෂිත ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් එහි සමාරම්භක උත්සවයට ඊයේ (15) පුරාණ අගනුවරදී සහභාගි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අගමැතිවරයා, අපිරිසුදු ජලය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වූ දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙමඟින් ඉමහත් සහනයක් සැලසෙන බව ප්‍රකාශ කළේය. උග්‍ර ආර්ථික අර්බුදයකින් පසු ඉක්මන් ප්‍රකෘතිමත් වීම පිළිබඳව ජයිකා සභාපතිවරයා ලංකා රජයට ප්‍රශංසා කළ අතර රට දැන් ශීඝ්‍ර වර්ධනයක් කරා යමින් සිටින බව පැවසීය.

Òගෝලීය වර්ධනය ආසියා ශාන්තිකර කලාපයට මාරු වී ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක්Ó යැයි පැවසූ සභාපතිවරයා ජයිකා ආයතනය මේ ක්‍රියාවලියේ හවුල්කරුවකු ලෙස දිගටම කටයුතු කරන බව ද අවධාරණය කළේය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ රටට වැඩි සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව වැදගත් ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට එය උපකාරී වන බැවිනි. ජයිකා ආයතනය රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සේවා පුළුල් කිරීම, මානව සම්පත් සහ ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීම, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස යන අංශ ඊට ඇතුළත් වේ.

ඉදිරි ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා සංවර්ධන අවශ්‍යතා සොයා බැලීමට ජයිකා ආයතනයේ සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

කෘෂිකාර්මික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාව සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීමට සහාය සැපයීමට ජයිකා ආයතනය අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ව්‍යාපෘතිවලට සහාය ලබාදීමට සහතික වන බවත් ජයිකා සභාපතිවරයා පැවසීය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙකි, ජයිකා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව), ඉටෝ තෙරුයුකි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ටකෙෂිටා මස්ටාකේ, ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙත්සුයා යමාඩා, අගමැති අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT