Home » රේගු නිලධාරීහු පිරිසක් අකුරට වැඩ

රේගු නිලධාරීහු පිරිසක් අකුරට වැඩ

by mahesh
February 16, 2024 12:59 am 0 comment

කටුනායක ටී. කේ. ජී. කපිල

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඊයේ (15) උදෑසන 9.00 සිට “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව සහ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති කේ. කුමානායක මහත්වරු පවසති. ඔවුන්ගේ ඉල්ලීම් අතර 2020 පෙබරවාරි මස 13 වැනි දින සිට නැවතී ඇති සිය උසස්වීම් පරිපාටිය නැවත ක්‍රියාත්මක කිරීම, දැනට 50%ක් ව පවතින රේගු නිලධාරීන්ගේ හිඟය පියවීමට කඩිනම් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, අනීතිකව බඳවා ගෙන ඇති “ සංවර්ධන නිලධාරීන්” 13 දෙනා වහාම ඉවත් කර ඔවුන් මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම, දැනට අකාර්යක්ෂම ලෙස කටයුතු කරන මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ජනක ගුණවර්ධන මහතා එම කටයුතුවලින් ඉවත් කිරීම සහ රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින “ විශේෂ” ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට එරෙහි වීම වේ.

මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා වරායවල ආනයන – අපනයන කටයුතු, අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ඖෂධ නිශ්කාශනය, කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ මඟී නිෂ්කාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙනයෑමට ද මේ වෘත්තීය සමිති වග බලාගෙන තිබේ.

මේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ රේගුවෙන් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ අතර කටුනායක ගුවන් තොටුපොළ මඟී නිෂ්කාශන කටයුතුවලට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය බලපෑමක් ඇති කර නැති අතර අනෙකුත් ස්ථානවල ක්‍රියාත්මක මේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT