Home » මිත්‍රත්වයේ පියාපත් නමින් ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සැමරුම යාපනයේ

මිත්‍රත්වයේ පියාපත් නමින් ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සැමරුම යාපනයේ

by mahesh
February 16, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

– උතුරේ තෝරාගත් පාසල් 73කට සංවර්ධන ව්‍යාපෘතිවලට මිලියන 100ක්
– “මගෙන් පොතක් උතුරට” පොත් 73,000ක් දෙන්න මිලියන 25ක්
– පරිසරය සුරැකීමට උතුරට පැළ 73,000ක්

අධ්‍යාපනික සහ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සැමරුම උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු යොදා ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මාර්තු මස 02දාට යෙදෙන ගුවන් හමුදා දිනය යාපනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ගුවන් හමුදා දිනයට සමගාමීව අධ්‍යාපනික හා සමාජ සත්කාරක වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ද මේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 125කට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබෙන බව ද පෙන්වා දෙයි.

මේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව “මිත්‍රත්වයේ පියාපත්” නමින් නම්කර තිබෙන අතර මීට පෙර වර්ෂවල ගුවන් හමුදා දිනය කොළඹට සීමා වුවද මෙවර උතුර දකුණ යා කරමින් යාපනයට රැගෙන යෑමට තීරණය කර කළ බව ද සඳහන් කරන ඒ මහතා මේ වැඩසටහන් සඳහා විශාල මුදලක් ඇස්තමේන්තු කළ ද ඒ කිසිදු මුදලක් රජයෙන් හෝ ගුවන් හමුදාවෙන් වැය නොවන බවද කියා සිටී.

ගුවන් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, අකුරේගොඩ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේ දී පෙරේදා (14) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් උදේනි රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. මාර්තු මස 02 දා ගුවන් හමුදා දිනය සමරන බවත් ඊට ප්‍රථම ආගමික වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් බෞද්ධ ආගමික වැඩසටහන් කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙන බවත් කීය. ඊට සමගාමීව අනෙකුත් ආගමික වැඩසටහන් ද පැවැත්වෙන බවත් 02 වැනිදා පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදා සංවත්සර දින ආචාර පෙළපාළිය පැවැත්වෙන බව ද පසුව උතුර දකුණ යා කරන සහයෝගිතාව අරමුණු කෙරෙන “මිත්‍රත්වයේ පියාපත්” වැඩසටහනට යොමුවන බවද පැවසීය.

යාපනය, මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී මේ වැඩසටහන් පැවැත්වෙන අතර උතුරේ සහෘදයන් සහ යුද හමුදාව, නාවික හමුදාව සහ පොලීසිය ඇතුළුව රාජ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ සඳහා සහාය දෙන බව ද ඒ සඳහා ව්‍යාපෘති රැසක් එක් කර තිබෙන බවද සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව රුපියල් මිලියන 100ක මුදලින් යාපනය, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පාසල් 73ක් තෝරාගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, “මගෙන් පොතක් උතුරට” වැඩසටහන යටතේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් පොත් 73,000ක් උතුරේ පාසල්වලට බෙදාදීමට රුපියල් මිලියන 25ක් වෙන්කිරීම, පරිසරය සුරැකීම අරමුණු කරගෙන උතුරේ ප්‍රදේශයන්ට ගැළපෙන ලෙස පැළ 73,000ක් සිටුවීම එම වැඩසටහන් අතර වෙයි.

“ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සරයක විශේෂම අංගයක් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය කියන්නෙ. මෙවර අපි පාපැදි සවාරිය 25 වැනි වතාවට තමයි පවත්වන්නෙ. මාර්තු 03 වැනිදා ආරම්භ කරන තරගය මාර්තු 07 වැනිදා අවසන් කරනවා. පසුගිය කාලවලදී මේ තරගය පැවැත්වුණේ දවස් තුනක තරගයක් ලෙසයි. නමුත් මෙවර දවස් පහක පාපැදි තරගයක් විදියට පවත්වනවා. පිරිමි තරගය සඳහා 100ත් 110ත් අතර ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. කාන්තා පාපැදි තරගය සඳහා 40ක් පමණ සම්බන්ධ වෙයි කියා සිතනවා. ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ කර නුවර, හබරණ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව හරහා දින පහකට පසුව අපි ළඟා වෙනවා යාපනයට. පිරිමි පාපැදි සවාරියේ දුර කිලෝමීටර් 650ක් පමණ වෙනවා.

කාන්තා පාපැදි සවාරිය කිලෝමීටර් 100ක්. ඒ අතරමැද පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ යාපනය ස්ථානවලදී සංගීත ප්‍රසංග ද පැවැත්වෙනවා. දිස්ත්‍රික්ක හතරක් එකතු කර අපි පවත්වනවා “ගුවන් හමුදාපති අභියෝගතා මිත්‍රත්ව පාපන්දු කුසලාන තරගාවලිය” ක්. උතුරේ වැඩි පිරිසක් කැමතියි පාපන්දු ක්‍රීඩාවට. ඒක දැනට කරගෙන යනවා. 06, 07, 08 දිනවල දී යාපනයේ දොරෙයප්පා ක්‍රීඩාංගණයේ දී අවසාන තරග පැවැත්වෙනවා. ක්‍රීඩා සමාජ 11ක් මේ සඳහා සහභාගි වෙනවා. යාපනයේ එයාර් ටැටූ නමින් අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. පාසල්, අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවලට අපි ආරාධනා කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට අපි ගුවන් යානා එන්ජිමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජයෙන් හෝ ගුවන් හමුදාවෙන් කිසිම මුදලක් වෙන් කරන්නේ නැහැ. අනුග්‍රාහකයන්ගෙන් ඒ සඳහා මුදල් යොදා ගන්න අපේක්ෂා කරනවා.

“මිත්‍රත්වයේ පියාපත්” වැඩසටහනේ සංවිධායක කමිටු ප්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් මුදිත මහවත්තගේ, අධ්‍යක්ෂ (මාධ්‍ය) ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ, යාපනය වාණිජ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය වී.කේ විග්නේෂ්, උතුරු පළාත් සංචාරක සංගමයේ අධ්‍යක්ෂ ටී. වයි. සුන්දරසන් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය – ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT