ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බවත් රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ආපසු හැරී බලන විට රට තිබූ මට්ටමෙන් උඩට ඇවිත් තිබෙන බව ද ප්‍රකාශ කළ ඇමැතිවරයා මේ වෙලාවේ රටට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි නායකයකු බව ද සඳහන් කළේය. එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවට යෝජනා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්, සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන් නායකයකු විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් දකින බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අවසන් වරට ඉදිරිපත් වූ ජනපතිවරණයේ දී ගත්තේ ඡන්ද ලක්ෂ 05 ක් බවත් එම ඡන්ද පදනම 100 % කින් වැඩි කර ගතහොත් ඔවුන්ට හිමි වන්නේ ඡන්ද ලක්ෂ 10ක් බවත් ඇමැතිවරයා පැවසීය.ලක්ෂ 50ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නම් ඔවුන් 1000 % කින් ඡන්ද ප්‍රමාණය වැඩි කර ගත යුතු බව ද අවධාරණය කළේය.
ඉතිහාසයේ කිසිම පක්ෂයක් ඒ ආකාරයෙන් 1000 % කින් ඡන්ද පදනම වැඩි කරගෙන නැති බවත් අවසන් වරට පැවැති ජනපතිවරණයේ දී පරාජය වූ සජිත් ප්‍රේමදාස මහතා ද ඡන්ද ලක්ෂ 56ක් ලබාගත් බව අප අමතක නොකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පසු බලයට පැමිණි සෑම ජනපතිවරයෙක්ම ජනපතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධානයකින්.සන්ධාන ගත නොවී තනි පක්ෂයකින් ඉදිරිපත් වන කිසිවකුටත් ජනපතිවරණය ජයගත නොහැකියැයිද ඇමැතිවරයා පැවසීය. රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබිය දී පෙරට පැමිණ රට ගොඩගැනීමේ අභියෝගයට මුහුණදීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර ගනිමින් මේ වනවිට විශාල සාර්ථකත්වයක් පෙන්වා තිබෙන බවත් ඒ මහතා කීය.
පසුගිය වසරේ දී සංවර්ධනයට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොතිබූ නමුත් මේ වසරේ දී විශාල ලෙස මුදල් වෙන් කරමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසීය.
මැතිවරණ කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට නැති බවත් නියමිත පරිදි මේ වසරේ දී ජනපතිවරණයත් ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙන බවත් කී ඒ මහතා ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නම් වත්මන් ව්‍යවස්ථාව ද වෙනස් විය යුතුව ඇතැයි අවධාරණය කළේය.