Home » යමුනා ටීචර්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා

යමුනා ටීචර්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා

ජයනි වීරසිංහ

by mahesh
February 16, 2024 1:00 am 0 comment

2011 වසරේ රූපවාහිනි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන ජයනි වීරසිංහ අපේ ප්‍රින්සිපල් සිනමාපටයේ යමුනා ටිචර් වූවාය. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය දුවා දරුවන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වන්නියකි. ඇය සමඟ අප කළ කතාබහ මෙසේ දක්වමු.

ඔබේ කලා ආගමනය සිදු වන්නේ කොහොමද ?

මගේ කුඩා අවධියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම ගෙවෙන්නේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයයි. කුඩා අවධියේම තිබූ සිහිනයක් තමයි රංගන ශිල්පිනියක් වෙනවා කියන එක. මේ සියලු දේට මුලපෑදුණේ කහවත්ත මධ්‍යම හා විද්‍යාලයෙන්. වාණිජ අංශයෙන් උසස් පෙළ අවසන් කර සබරගමු විශ්වවිද්‍යාලීය ප්‍රවේශය ලැබුවා. මම 2007 වසරේ වෙළෙද දැන්වීම් කලාවට ප්‍රවිශ්ට වෙනවා. 2008 වසරේදී නිල්වලා ජාතික අධ්‍යාපන පීඨයට ඇතුළත් වෙනවා. 2010 වසරේ අධ්‍යයන කටයුතු සියල්ල ඉවර කරලා 2010 වසරේම මාතර සාන්තතෝමස් විද්‍යාලයට සීමාවාසික ගුරුවරියක ලෙස පැමිණෙනවා. පසුව 2011 වසරේ පත්වීම ලබාගෙන ගාල්ල සවුත්ලන්ඩ් විදුහලට ගුරුවරියක් ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනවා.

මගේ හැරවුම් ලක්ෂය ලෙස සටහන් තබමින් රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිශේක ලැබීමයි. එතැනින් පටන් ගත් ගමන තමයි දැන් මේ අපේ ප්‍රින්සිපල් දක්වා ඇවිත් ඉන්නේ.

ඔබ ඉන්දියානු නිර්මාණ කිහිපයකටම දායක වුණා නේද?

මම මුලින්ම ” ඉරානී ” ඉන්දියානු නිර්මාණයත් සමඟ සම්බන්ධ වෙන්නේ 2022 වර්ෂයේදී. මේ වසරේ දී මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. තවම ඒවාට ස්ථිර පිළිතුරක් දීලා නෑ මගේ ගුරු වෘත්තිය සහ ලොකුම බැඳීම මගේ පවුල නිසා.

ඔබ යමුනා ටිචර් වුණේ කොහොමද?

මේ චරිතයට මට කතා කරන්නේ ලලිත් අනුර රාජපක්ෂ අයියා. මට මුලින්ම කිවුවේ නංගිගේ වෘත්තියට ගැළපෙන චරිතයක් තියෙනවා කරන්න කැමතිද කියලයි. මගේ වෘත්තයත් එක්ක චරිතයක් කරන්න භාරගන්න කොට හරිම පරිස්සම් වෙන්න ඕනෑ. ඒ නිසා ඔහු කිවු ආකාරයට මේක සමාජයට යන හොඳ පණිවිඩයක් කියලයි. අපේ ප්‍රින්සිපල්හි දරුවන් රැකබලා ගන්න දෙමව්පියෝ සහ ගුරුවරුන් කැපවෙලා ඔවුන්ව සමාජගත කරන්න දඟලන උත්සාහයක් අන්තර්ගතයි.

වැරදි දේකට යොමු වුණොත් ළමයා නොමඟ යන ආකාරය පිළිබඳව ලස්සන තිර පිටපතක්. ඒ දේ ස්ථිරවම කළ යුතු නිසා යමුනා ටීචර් වෙන්න මම හරි කැමැත්තෙන් ඒ චරිතය භාර ගත්තා. ඒ තෝරා ගැනීම තුළ අපේ ප්‍රින්සිපල් කියන්නේ ගොඩක් වටිනා සිනමා නිර්මාණයක්. ඇත්තටම කියන්න සතුටුයි යමුනා ටීචර්ට හොඳ ප්‍රතිචාර මේ වනවිට ලැබෙනවා. දැන් මම උගන්වන තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් මාව යමුනා ටීචර් කියලයි අමතන්නේත්.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්?

දැනට අලුතින්ම තිරගත වීමට තියෙන නිර්මාණය තමයි ඉරානී සිනමා පටය. ඒ වගේම අලුතෙන් සිනමා පටයකට ආරාධනාවක් ලැබුණා. එය ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා, කොස්ටියුම්වල ප්‍රශ්නයක් හේතුවෙන්. වෙළෙඳ දැන්වීම් කිහිපයකම රූගත කිරීම්වලට දින වෙන් කරගෙන තියෙනවා. ඉදිරියේදී රූපගත කිරීම් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍ය කලාවට නම් මම වැඩිය ප්‍රියතාවයක් දක්වන් නෑ. නමුත්, සිනමා පටවලට මගේ දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ලෝකය හරිම සුන්දරයි. ඔවුන් සමඟ කාලය ගත කරන කොට දින, මාස යනවා දැනෙන්නේ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT