Home » ගී මන්දාකිනී

ගී මන්දාකිනී

by mahesh
February 16, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක, එම්. තාරික්

76 වෙනි නිදහස් දින සැමරුම වෙනුවෙන් මොරටුව ගී මන්දාකිනි fan club සාමාජිකයන් විසින් දේශාභිමානී ගීත ඇතුළත් ප්‍රාසාංගික වැඩසටහනක් පසුගිය දින රත්මලානේදී පවත්වන ලදි. එය (ගී මන්දාකිනි – YouTube චැනල් මඟින් හා :(You Tube vahina ) චැනලය මඟින් සමාජ මාධ්‍යයට මුදා හැරුණි. එහිදී (බුදුන් ගෞතම සමිඳු මෙත පෑ) යන නව නිර්මාණ දේශාභිමාන ගීතය ඔවුන් විසින් ජාතියට තිළිණ කරන්නට විය. ජාතික සමඟිය පිළිබිඹු කරමින් ගැයුණු එම ගීතයේ සංකල්පනාව, පද මාලාව, තනුව හා සංගීතය ගී මන්දාකිනි fan club නිර්මාතෘ සංගීතාචාර්ය සුමති මෙන්ඩිස් විසින් සිදුකරන ලදි.


මායා දැල

නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය වන මායා දැල 16 වැනිදා පානදුර පුරහලේදී සවස 3.30ට සහ 06.30ට වේදිකාගත කෙරේ. එය පසුදින (17) සවස 3.30ට සහ 6.30ට දර්ශන වාර දෙකක් ලෙස ටවර් හෝල් රඟහලේදී වේදිකාගත කෙරේ. උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, මෝනිකා සේරසිංහ, කපිල ගාමිණී ජයසිංහ, තාරිකා ද සිල්වා, කසුන් කාරියවසම් රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්‍ෂණය නවරත්න ගමගේගෙන් වන අතර ගායනය දුමාල් වර්ණකුලසූරියගෙනි.


සිනමා වංශය එළි දකී

ගාමිණී වේරගම විසින් විරචිත දේශීය සිනමා වංශය තෘතීය භාවය (1980-1989) ග්‍රන්ථයේ පළමු පිටපත පසුගියදා ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි වෙත පිළිගැන්විය. මේ සඳහා නුගේගොඩ සරසවි පොත් ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා ද සහභාගි විය. දේශීය සිනමා වංශය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.


සිංහබාහුගෙන් පෙරළියක්

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ආරාධිතයන් පිරිවරා වැල්ලවත්ත සැවොයි 3D සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙය ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. අකිල ධනුද්දර, සජිත අනුත්තර, යශෝදා විමලධර්ම, සිනේති අකිලා, දුෂේනී මියුරංගි, අභිලාසී සන්තුසි රංගනයෙන් දායක වෙති.


ආදර සැමරුම්

නැසී ගිය සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ ජන්ම දින යෙදෙන්නේ පෙබරවාරි 15 වැනිදාටය. මෙම ජන්ම දිනය සිහි කිරීම සහ ඔහුට ගෞරව කිරීම වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි සත්සර හරසර පෙළහර “ආදර සැමරුම්” නමින් ගුණ සමරු ප්‍රසංගයක් ඊයේ (15) කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි. මහා ඇදුරු සනත් නන්දසිරියන් සිහි කිරීම උදෙසා සනත් නන්දසිරි සූරීන් විසින් තනු නිර්මාණය කළ ගීත පමණක් මෙහිදී ගැයිණි.


ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යයක්

තාල රංගායතනයේ කුල කුමරියන් 15 දෙනකු සඳහා හිසවෙස් හා ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යය හෙට (17) පෙරවරු 8.00 සිට සිඩ්නි නුවර ලංකාරාම පුදබිමේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නර්තනවේදී නෙල්සන් විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් මේ අවස්ථාව සංවිධානය කරයි.


රුක්මණී – ජෝති සංගීත ප්‍රසංගයක් කුරුණෑගලදී

වියපත් කලාකරුවන්ගේ සුභ සාධනයට ආධාර පිණිස සකල කලා සංසදය මඟින් ඉදිරිපත් කරන “රුක්මණී – ජෝති රාත්‍රිය” සංගීත ප්‍රසංගය හෙට (17) පස්වරු 6.30ට කුරුණෑගල නගර සභා ශාලාවේදී පැවැත්වේ. ප්‍රවීණ ගායන ශිල්පිනී ශ්‍රියානි දිසානායක, ඉෂාක් මොහිදින් බෙග්, එච්.ආර්. සොයිසා, සරත් රොද්‍රිගු, කේ.ඩී. සිරිපාල (ඩිංගි මහත්තයා), දිව්‍යා සොනාලි යන ගායන ශිල්පීන් ශිල්පිනියන් විසින් අමරණීය රුක්මණී – ජෝති ගී සරණිය රස ගන්වන අතර යුද හමුදා වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයයි.

ගුවන්විදුලි රූපවාහිනී නිවේදක, රංගන ශිල්පී, කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා කථනයෙන් දායක වන අතර රුක්මණී – ජෝති අතීත සැමරුම් ඇතුළත් සලරූ පෙළහරක් ද ප්‍රේක්ෂක ජනතාවට සමීප කිරීමට නියමිතය.


පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් 23 දා

කපිල රස්නායකගේ නාට්‍ය නිර්මාණයක් වන පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය පෙබරවාරි මස 23 වන සිකුරාදා දින දර්ශන වාර දෙකක් සමඟින් සවස 3.30 සහ 6.30 ට මීගමුව නගර ශාලාවේදී වේදිකාගත වේ. ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්හි ශ්‍රී ලංකාවේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් මෙහි රංගනයෙන් දායක වෙති.


මින්නු 24 දා තිරයට

කතාව තිර රචනය සුමිත්‍රා රාහුබද්ධ විසින් සිදුකරන ලද අසෝක අතාවුදහෙට්ටිගේ නවතම අධ්‍යක්ෂණය “මින්නු” පෙබරවාරි 24 වනදා සිට EAP මණ්ඩලය ඇතුළු සියලු සිනමාහල්වල තිරගත වීම අරඹයි. මෙය රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. හර්ෂ තෙන්නකෝන්, මේනකා පීරිස්, තිසරි වත්සලා, සෙනංගා කැප්පෙටිපොල, චාන්දනී සෙනෙවිරත්න, වසන්ත කොටුවැල්ල, වීණා ජයකොඩි, දිල්හානි අශෝකමාලා, ගයනි ගිසන්තිකා, නීතා සමරනායක, කෞශල්‍යා ප්‍රනාන්දු, සුජානි මේනකා, අයිරාංගනී සේරසිංහ, ජයනී සේනානායක, ලක්ෂ්මන් මෙන්ඩිස්, විශ්ව ගුණසේකර, දසුන් පතිරණ, මංගල ප්‍රනාන්දු, සුජිත් ගුණරත්න, නොශානී ගුණසේකර රංගනයෙන් එක්වෙති.


සෝමපාල ලීලානන්ද අතීතාවලෝකනය

සෝමපාල ලීලානන්ද අතීතාවලෝකන සිනමා දැක්ම සහ උපහාර උලෙළ එළඹෙන 21 වැනිදා සිංහල සංස්කෘතික ආයතනයේ දී (සුදර්ශී) ප.ව.5.00ට පැවැත්වේ. මෙයට සමගාමීව සිනමාපට තුනක් එදින ප්‍රදර්ශනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පෙ.ව.10.30ට නිල්ල සොයා, ප.ව.02.30ට සදහටම ඔබ මගේ, ප.ව. 06.30ට චණ්ඩි පුතා තිරගත කෙරේ. මේ සඳහා ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT