කොහේ හෝ යන මරාල හිස මත්තටම පහත්වීම අතින් නම් අප තරම් චාන්ස්කාරයෝ නැත්තාහ. රුවල, වැරදි පොටට කැරකී, නැවට පාර වැරදී, පරංගි නායක තෙමේ, මෙහෙට ආවේය. හේ ආපසු යන්නේ රටෙන් පළුවක් කොල්ලකාගෙනය. 1789 වසරේ ප්‍රංශ විප්ලවය සිද්ධ වන්නේය. පාන් කැබැල්ල පවා අහිමි මහජනයාගේ අරගලය මාලිගා සමතලා කරමින් ප්‍රංශයේ පමණක් නොව, ලෝකයේම කතාවට අලුත් ඡේදයක් එකතු කළේය.
ප්‍රංශ සමූහාණ්ඩුව බිහි වුණ පසු ‘විප්ලවයේ පල නෙළන්නෝ’ වටේ වැඩ සඳහා ද, අත දිග හරින්නට පටන් ගත්හ. රටක් බලවත් වීම සඳහා මේ කාලයේ අධිරාජ්‍යයක් බවට පත් විය යුත්තේය. විප්ලවයෙන් උපන් නැවුම් රාජ්‍යය ද ඔය රහට පුරුදු වන්නට පටන් ගත්තේය. පෙරදිග යටත්විජිත සඳහා අයිතිය ලබා ගැනීමේ අරමුණෙන් ප්‍රංශ හමුදාවෝ වැඩ ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1794 වසරේ දී ප්‍රංශ හමුදාව, ඕලන්දය ආක්‍රමණය කළේය. මීවදය කඩන විට රජ මැස්සි අල්ලා ගත්තේ නම් සියලු දෙනා ‘අතේ’ සේ, ඕලන්දය ඇල්ලුවා කියන්නේ තව යටත්විජිත ගණනාවක් සිය අණසක සඳහා යටත් වන්නේය. ඕලන්දයේ පාලකයා ලවා පෙරදිග ඇති ලන්දේසීන්ට අයත් පාලන ප්‍රදේශ තමා සන්තක කර ගැනීම ප්‍රංශ අවශ්‍යතාව විය. මේ සඳහා අවශ්‍ය සියලු ලිය කියවිලි සකසාගෙන, ඕලන්ද පාලකයා හමුවට ප්‍රංශකාරයෝ ගියෝය. දැන් තමන් ඕලන්දය අත්පත් කරගෙන ඇත්තේ බැවින් එහි අයිතිය යටතේ ඇති සියල්ලම තමන්ටය. එහෙම හිතාගෙන ඕලන්ද පාලක, 5 වන විලියම් කුමරු සොයා ප්‍රංශකාරයා යන කල්හි, මර්සියට තවත් මර්සියක් දමා පස්වෙනි විලියම් මහා බ්‍රිතාන්‍යයට පලා ගොස් තිබුණි.
ප්‍රංශ හමුදාව පෙරදිගට බට බව දත් ඉංග්‍රීසීහු, වහා විලියම් කුමරු ලවා ලිපියක් ලියවා ගත්හ. එම ලිපිය ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වෙත ලබා දුන් නියෝගයකි. ලංකාවේ ඇති ලන්දේසි පාලන බල ප්‍රදේශහි බලය ඉංග්‍රීසීන්ට පවරන මෙන් එයින් නියෝග නිකුත් කර තිබුණි. 1795 පෙබරවාරි 7 ‘කි’ මාලිගයේ සිට ලිපිය ලියන ලද්දේ බැවින් එයට කියන ලද්දේ ‘කි’ ලිපිය කියාය. විලියම් කුමරා, ෆන් එංගල් බෙක් නම් ලන්දේසි ආණ්ඩුකාරයාට, ඒ ලිපියෙන් ලියා යවන ලද්දේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට ප්‍රංශ හමුදාවන් ඇතුළුවීමට පෙර ඉංග්‍රීසි හමුදාවන්ට ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙස ය.
කුරුඳු ටිකක් රට පටවාගෙන, ඔප්පු තිරප්පු ටික නිරවුල් කර, තෝම්බු සකසමින්, මේ කාලයේ ලංකාවේ සිටි ලන්දේසීහු තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ගියෝය. මේ සොමියට බාල්දියක් පෙරළමින් එංගලන්තයට පලා ගිය කුමාරයා නියෝග එවන කල්හි, තමන්ගේ පාලන ප්‍රදේශ ලියුම් කඩදාසියකට ඉංග්‍රීසින්ට පැවරීමට මෙහි සිටි ලන්දේසි ආණ්ඩුකාරයා අකමැති විය.
ආණ්ඩුකාර එංගල් බෙක්, ලියුමට ‘බැහැ’ කීමේ අර්බුදය වූයේ ලංකා භූමියේ ලන්දේසි සහ ඉංග්‍රීසි සටනක් ආරම්භ වීමය. 1795 අගෝස්තු 20 වෙනිදා ත්‍රිකුණාමලයෙන් ලන්දේසීන් පරාජය කළ ඉංග්‍රීසීහු, 1796 පෙබරවාරි 16 වෙනිදා කොළඹ අත්පත් කර ගත්තෝය. ඒ සමඟ ලංකාවේ මුහුදුබඩ පළාත් මුළුමනින්ම පාහේ ඉංග්‍රීසි අණසකට යටත්වූහ.
අදට වසර දෙසිය විසි අටකට පෙර අපේ ඉරණම කැරකුණේ ‘අනුන්ගේ සෙක්කු වටාය’. මේවා මැනේජ් කරගෙන දෙගොල්ලොම එළවා ගැනීමේ හැකියාවක් අපට තිබ්බේ නැත. මේ ආකාරයට දිගින් දිගටම චාටර් කෑමේ අදීනව තාමත් අප විඳවන්නේය.
පෙබරවාරි 16 වෙනිදා අනික් වැදගත්කම ‘සමනලයෙකුට වෙඩි තැබීමය’. විජය කුමාරතුංගගේ මුහුණ සුනු විසුනු වෙන්නට වෙඩි තබන ලද්දේ දේශපාලන වෛරය පිරිමසා ගැනීමට පමණක් නොවේ. එහෙම මුහුණකට වෙඩි තැබීමෙන් පන්ති වෛරය පිරිමැසීමට බැරිය. විජයගේ මුහුණ වූ කලි අසුව දශකයේ මේ රටේ ජනප්‍රියම තරුවගේ වතය. ඔහුගේ දේශපාලන මතවාදය සඳහා උණ්ඩය තෝරා ගැනීමේ සිට මනරම් මුහුණ, කීතු කීතු වනසේ වෙඩි තබන ලද්දේ ‘සමාජ වෛරයක්’ පිරිමසා ගැනීමටය. මැයි නව වෙනිදා ගෙවල් ගිනි තිබ්බේ ද ඒ පරිදිය. හොඳ වර්ගයේ වාහනයක මිනිසෙක් යන්නේ සිය හැකියාවෙන් උපයා ගත් ධනයෙන් මිස, ආණ්ඩුවෙන් තුණ්ඩු උඩ දමා, එක කට්ටියකට පමණක් ඒවා දුන් නිසා නොවේ. එහෙම වාහන පස්සේ ද පන්න පන්නා ගහන තරමට මේ දේශපාලන ව්‍යාපාරයේ වෛරය බුර බුරා උඩ නඟින්නට විය. එහෙව් එකාලා දැන් මාලිමාවට මුවා වී ඡන්දයෙන් වැඩේ දෙන්නට සැරසෙන්නෝය. එහෙම බලයට ආ අයගේ කතාව සඳහා, උතුරු කොරියාව දෙස බලන්න යැයි මේ තීරුව පාඨකයාට යෝජනා කරන්නේය.
මෙලෝ රහක් නැත. නායකයාගේ නමට සමාන නමක් වෙන එකෙකුට තිබෙන්න ද බැරිය. සියල්ල මර්දනය මත්තේය. හැබැයි කොමියුනිස්ට්ය. එහෙම පිරිසකගේ වහලුන් වී වෛරය ආණ්ඩුකරණය සඳහා ලක් වීමේ අවශ්‍යතාවක් අපේ රටේ මිනිසුන්ට නැත. ‘දීලා බලමු’ යන පහසුව දුන්නාට පසුව නැත. හොඳම උදාහරණය තිස් හය වසරක්, අදට සපිරෙන විජය ඝාතනය. බලය නැති කාලේ දැමූ සෙල්ලම් එහෙමය. බලයට ආ කල්හි ද ඒ සෙල්ලම්හි අඩුවක් නැති වග, අප කියන්නේ අනුමානයෙන් නොවේ. ලාල්කාන්ත ළඟදී කියූ කතාවකට අනුව තමන් බලයට පැමිණි විට මර්දනය හොඳින්ම සිද්ධ කරන්නේය. ලයිසන් නැතිව චණ්ඩි පාට් දමන සමයේ, විජය වැනි දේශපාලන චරිතයකට තුවක්කුවෙන් හයිය පෙන්නු එකලා, ලයිසන් චණ්ඩින් වූ කල දාන පාට් දැක ගැනීමට, කිසිවෙක් වෙත අවශ්‍යතාවක් නැත්තේය. පෙබරවාරි 16 වෙනිදා කියන්නේ මේ කියන කාරණය සඳහා සිහි කැඳවන දිනය හෙයින් ඒ ගැන මතක වතක් අද මේ තීරුව එළි දක්වන්නේය.