දින 1739කට පසු ශකීබ්ට පළමු තැන අහිමි වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 14කින් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු මෙලෙස ඉදිරියට එමින් 26 වැනි තැනට පත්ව තිබේ.වේග පන්දු යවන ඩිල්ෂාන් මධුෂංක ස්ථාන 4ක් ඉදිරියට එමින් 33 වැනි තැනට පත්ව ඇති අතර, මහීෂ් තීක්ෂණ ස්ථාන 2ක් පහළ බසිමින් 10 වැනි තැනට වැටී ඇත. එහි පෙරමුණ තවමත් දකුණු අප්‍රිකානු දඟ පන්දු කේෂව් මහරාජ්ට හිමිව ඇත.
එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 97ක් රැස් කිරීම හේතුවෙන් චරිත් අසලංක ස්ථාන 5ක් ඉදිරියට එමින් 15 වැනි තැන හිමි කර ගෙන ඇති අතර, ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් ස්ථාන 10ක් ඉදිරියට පැමිණි පැතුම් නිශ්ශංක 18 වැනි තැන සිටී. විස්සයි20 පන්දු යවන්නන් අතරේ දෙවැනි ස්ථානයේ පසුවූ කොදෙව් ක්‍රීඩක අකේල් හොසේන් ස්ථාන 2කින් පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ස්ථානයක් බැගින් ඉදිරියට ගොස් තිබේ. ඒ අනුව තීක්ෂණ සහ හසරංග පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව ඇති අතර, එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් පළමු ස්ථානයේම රැඳී සිටී. අකේල්ට ඔස්ට්‍රේලියාවට එරෙහි නිමා වූ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.
මේ අතර දින 1739කට (වසර හතරයි දින 275කට ආසන්න) පසු එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලින් බංග්ලාදේශ ශකීබ් අල් හසන්ට පළමු ස්ථානය අහිමි වීම විශේෂත්වයකි. ඔහු 2019 මැයි 7 සිට මේ දක්වා පෙරමුණ ගෙන සිටි අතර, එය ඕනෑම ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ රැඳී සිටි වැඩිම කාලයයි. ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පත් විය.
එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටින වයස්ගතම ක්‍රීඩකයා නබී වන අතර, ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කී ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් 2015 වසරේ ජුනි මාසයේදී අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වන විට වයස අවුරුදු 38යි මාස 8ක් ලෙස සටහන් විය.
නිරෝෂාන් ප්‍රියංකර