Tuesday, April 22, 2025
Home » එවෙලෙම ඉස්පිරිතාලෙකට ගෙනිච්චා නම් බේරාගන්න තිබුණා
ෆෝන් කාඩ් එකක් ගේන්න ගිය මහත්තයා ගෙදර ආවේ පෙට්ටියකින්

එවෙලෙම ඉස්පිරිතාලෙකට ගෙනිච්චා නම් බේරාගන්න තිබුණා

by sachintha
February 15, 2024 1:52 am 0 comment

අනතුරින් මියගිය අයගේ බිරිය කියයි

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ෆෝන් කාඩ් එකක් මිල දී ගැනීම සඳහා පසුගිය ජනවාරි 08 වැනි දින අසල පිහිටි හන්දිය වෙත ගිය පුද්ගලයකු අනතුරකට මුහුණපා රෝහල්ගතව මාසයක් සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ සිට පසුගිය 10 වැනිදා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව රණබිම මාවතේ පදිංචිව සිටි ගාමිණී සතිශ්චන්ද්‍ර නමැති 64 හැවිරිදි තැනැත්තෙකි. ඔහු දියණියන් දෙදෙනකුගේ සහ පුතකුගේ පියෙකි.

ඔහුගේ බිරිය වන රංගන හා නර්තන ශිල්පිනියක වන කුමාරි දිසානායක මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියාය.

Òමගේ මහත්තයා ගිය මාසෙ 08 වැනිදා අපිත් එක්කම රාත්‍රී කෑම කාලා මට කිව්වා ෆෝන් එකට කාඩ් එකක් ගේන්න හන්දිය පැත්තට යනවා කියලා. එහෙම ගියපු කෙනා යළි ගෙදර ආවේ නැහැ . අපි හන්දියට ගිහින් හැම තැනම හොයල බැලුවත් ආරංචියක් ලැබුණේ නැහැ. පහුවදා උදේ මුල්ලේරියාව පොලිසියට ගිහින් කිව්වා. ඒ අය විස්තර අහලා කිව්වා ඒ වගේ කෙනෙක් අංගොඩ ATM එක ළඟ වැටිලා ඉන්නවා දැක්කා, පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. අපි ගිහින් බලනකොට මහත්තයා එතැන වැටිලා හිටියා. ඔළුව ළඟ තුවාල වෙලා තිබුණා. ඇහුවට මොකුත් කතා කළේ නැහැ. මුල්ලේරියාව රෝහලට අරන් ගියා. එහෙදි දැඩි සත්කාරෙට ඇතුළු කළා. අපි පොලිසියට කිව්වා මොකද වුණේ කියලා හොයල බලන්න කියලා. ඒ අය ගල්වාන පැත්තේ මාර්ගයේ ඇති කැමරා පරීක්ෂා කළත් අනතුරක් වෙලා කියලා හොයාගන්න බැරි වුණා. පස්සේ පුතා ගිහින් සතියක් විතරම අවට දන්න කියන වෙළඳ සල්වලට කියලා කැමරා දර්ශන බැලුවා. ත්‍රීවිල් රථයක මහත්තයා හැප්පිලා නොනවත්වාම යන හැටි අපට දැකගන්න ලැබුණා. අපි ඒ ත්‍රීවිල් රියැදුරු හොයා ගත්තා. ඒ මිනිහා හැමදාම රෑට බීලා ඉන්න හන්දියේ ඉන්න පුද්ගලයෙක්. පස්සේ පොලිසියෙන් නඩු දැම්මා. ඒ සිද්ධිය වෙලා මහත්තයාගේ කල්පනාව නැතිවෙලා ගේ හොයාගන්න බැරුව හැම තැනම ඇවිදලා තමයි ATM එක ළඟට ගිහින් වැටිලා තියෙන්නේ. ත්‍රීවිල් රියැදුරා හරි කවුරු හරි එවෙලේම රෝහලට ගෙන ගියා නම් බේරගන්න පුළුවන්කම තිබුණා කියල වෛද්‍යවරු කිව්වා. ෆෝන් කාඩ් එකක් ගේන්න කඩේට ගියපු මහත්තයා මාසෙකට පස්සේ ගෙදර ආවේ පෙට්ටියකින්. මේ රටේ මේ වගේ දේවල් සිදුවීම මොන තරම් ඛෙදවාචකයක් ද?Ó

දේහය තලාහේන පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට අධිකරණ තීන්දුවක් ලැබී තිබුණි.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT