Monday, April 21, 2025
Home » පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් මුහුදේ ගහගෙන ගිය පහකගේ දිවි බේරාගෙන

පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් මුහුදේ ගහගෙන ගිය පහකගේ දිවි බේරාගෙන

by sachintha
February 15, 2024 2:41 am 0 comment

පාණදුර මුහුදේ රළ පහරට හසුව ගහගෙන ගිය ගැහැනු ළමුන් දෙදෙනෙකු, කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

කිඳෙල්පිටිය, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරිඳු ධනංජය (23), කවීෂා සෙව්වන්දි (17), කල්පනා දේවින්දි (14), සදරු රශ්මික (12) සහ විහඟ කවිස්ක (09) නමැති අයවලුන්ගේ ජීවිත මෙලෙස බේරාගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන් පස්දෙනා වැඩිහිටි යුවළක් සමඟ පෙරේදා (13) පානදුර වෙරළට පැමිණ විනෝදවී පසුව දියනාමින් සිට ඇති බවත්, වෙරළට මීටර් 40 ක ආසන්නයේ සිටි ඔවුන් රළ පහරකට හසුව කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදීගොස් ඇති බවත් සඳහන් වේ.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑගසා ඇති අතර, ඒ අනුව කොස්තාපල් පුෂ්පකුමාර සහ දසුන් යන දෙදෙනා ජීවිත ආරක්ෂක ටියුබ් රැගෙන දියට පැන තිබේ. පසුව ඒ ආසන්නයේ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද දියට පැන බේරා ගැනීමට සහය වී තිබේ.

මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක නිලධාරීන් පැවසීය.

දරුවන් සමඟ ගිය අනුරාධා හංසනී මහත්මිය මෙසේ පැවසීය. මහත්තයට නිවාඩු නිසා පාණදුර මුහුදේ නාන්න ගියා. එතන නාන්න එපා කියල ජීවිත ආරක්ෂක මහත්තරු කීවා. එහෙත් අහන්නේ නැතිව නාන්න ගිහින් පස්දෙනාම ගහගෙන ගියා. ඒ මහත්වරුන් ආවේ නැත්නම් පස්දෙනාම ගහගෙන යනවා යනුවෙන් පැවසීය.

පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන, පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. නිමල්සිරි මහතාගේ මෙහෙයවීමෙන්

කොස්තාපල් පුෂ්පකුමාර (69951), කොස්තාපල් දසුන් (91046) සහ නාවික සෙබළුන් දෙදෙනෙකු විසින් මෙසේ ජීවිත බේරාගෙන තිබේ.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT