Monday, April 21, 2025
Home » සැළලිහිණියාගේ නොනවතින ගමන
ජාතික රූපවාහිනියේ 42 වැනි සංවත්සරය වෙනුවෙන් පළවන ලිපියකි.

සැළලිහිණියාගේ නොනවතින ගමන

by sachintha
February 15, 2024 2:31 am 0 comment

ජාතික රූපවාහිනිය මෙරට ස්ථාපිත කරනු ලැබුවේ 1982 වර්ෂයේදීය. ජපානය සිය සුහදත්වය සහ මිත්‍රත්වය වෙනුවෙන් මෙරටට ලබාදුන් ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමේදීම ලබාදුන් ප්‍රධානම මාර්ගෝපදේශයක් වූයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රූපවාහිනියේ ගුවන් කාලයෙන් සැලකිය යුතු ගුවන් කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කළ යුතු බවය. අවුරුදු හතළිස් දෙකක් තුළ මෙරට විවිධ ආකාරයේ රූපවාහිනි නාළිකා බිහිවිය. නමුත්, අධ්‍යාපනය මූලික කර ගත් නාළිකාවක් නොව අවම ලෙස අධ්‍යාපනය වෙනුවෙන් සිය ගුවන් කාලයෙන් පැයක් හෝ පැය භාගයක්වත් ලබාදුන් නාළිකාවක් තිබේ ද යන්න සැක සහිතය. එහෙත්, ජාතික රූපවාහිනිය කාලයෙන් කාලයට වෙනස් වෙමින් තම විකාශන කාලයෙන් වැඩි ගුවන් කාලයක් අධ්‍යාපන සහ ළමා වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබේ. එමෙන්ම ජාතික රූපවාහිනිය යනු හොඳම දේ සිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ලබා දෙන ජාතික මාධ්‍ය නාළිකාව ලෙස සඳහන් කළ යුතුය. එදා සිට අද දක්වාම හොඳම ටෙලිනාට්‍ය නිර්මාණ මෙන්ම හොඳම වාර්තා වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික රූපවාහිනිය විසිනි. එනිසා හතළිස් දෙවසරක ජාතික රූපවාහිනි ඉතිහාසය තුළ මෙරටට ජාතික වශයෙන් යහ බලපෑම් රැසක් ඇති කළ රූප මාධ්‍ය නාළිකාව ලෙස ජාතික රූපවාහිනිය හඳුන්වා දීමේ වරදක් නැත. නාට්‍ය ඒකකය රූපවාහිනියේ තිබෙන ප්‍රධානම අංශයක් ලෙස සඳහන් කළ හැකිය.


නව මාවතක

එමෙන්ම සිය හතළිස් දෙවන සංවත්සරයට සමගාමීව ජාතික රූපවාහිනිය නව මාවතකට එළඹ තිබේ. එනම්, සාම්ප්‍රදායික ටෙලිනාට්‍ය, සංගීත, රියැලටි යන මාර්ග තම ප්‍රධාන මාර්ගය කර නොගෙන සමාජයට වඩාත් වැඩදායක සහ සමාජයට ලොකු සේවාවක් ඉටු කිරීමට ඉඩ කඩ සලසා ගෙන තිබේ. එහිදී අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කර තිබේ. එහි තේමාව බවට පත්ව තිබෙන්නේ ධනාත්මක ප්‍රවේශයකට නව ආරක වැඩසටහන් පෙළක්, යන්නයි. ඒ අතර අයි. ටී. ෆ්‍රී ලාන්සර්, වැඩසටහන හා එම වැඩසටහන මඟින් සිදු කරනු ලබන තොරතුරු තාක්ෂණය මඟින් ආදායම් උත්පාදනය කරන ආකාරය විමසා බැලේ. pro + වැඩසටහන මඟින් වෘත්තීය ප්‍රමිතියට අත්වැලක් යන්න තේමාව කොට තිබේ. එමෙන්ම ජාතික රූපවාහිනි ජන මෙහෙවර වැඩසටහන මඟින් දෙස් විදෙස් සබඳතා සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කරනු ලබන ප්‍රජා සේවා කටයුතු සූදානම් කර තිබේ. මෙම ප්‍රජා සේවා කටයුතු සඳහා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට දායකත්වය ලබා දීමට ඇරයුම් කිරීම සිදු කරන ලද්දේ ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසිනි. මෙම ප්‍රජා සේවා සහ සුභසාධන වැඩපිළිවෙළ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන පිරිස් වෙත පූර්ණ විනිවිද බවකින් කටයුතු කිරීමට ජාතික රූපවාහිනිය කටයුතු කර සූදානම්ව තිබේ. මෙම සුභසාධන වැඩපිළිවෙළ පූර්ණ ලෙස විගණනය කිරීමට ද කටයුතු කර තිබෙන්නේ, දායකත්වය සපයන්නන්ගේ විශ්වාසය ගොඩනැඟීම සඳහාය.

රූපවාහිනියේ හතළිස් දෙවන සංවත්සරය වෙනුවෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී අදහස් පළ කරමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කළේ, සෙසු නාළිකා ප්‍රමිතියෙන් පහළ වැඩසටහන් මඟින් ප්‍රේක්ෂක ප්‍රසාදය ලබා ගැනීමට උත්සාහ කරද්දී, තම ආයතනය අධ්‍යාපනය මුල් කර ගෙන නව ආරේ වැඩසටහන් රැසක් ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබෙන බවයි. දැනටමත් එම වැඩසටහන්වලට විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් ඇතිව තිබෙන අතර, මෑත කාලීනව සිදු කළ සමීක්ෂණවලට අනුව වඩාත් ප්‍රේක්ෂක කැමැත්තක් මෙම වැඩසටහන් වෙත යොමු වෙමින් පවතී.

තවද ජාතික රූපවාහිනිය සහ ලේක්හවුස් ආයතනය ඒකාබද්ධව නව දැන්වීම් වැඩපිළිවෙළක් ද ඇති කර තිබේ. එමඟින් අමතර ගෙවීමක් මඟින් දැන්වීම් පුවත්පත්වල මෙන්ම රූපවාහිනි තිරයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ. මෙය මෙරට මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂ කඩඉමක් ලෙස සඳහන් කළ හැකිය.

ඇසිදිසි මානයෙන් එහා

ජාතික රූපවාහිනිය තවදුරටත් ඇසිදිසි මානයෙන් එපිටට ගොස් තම කටයුතු නව ආකාරයකට පෙළ ගැස්වීමට කටයුතු කර තිබේ. මෙහි ඇරැඹුමක් ලෙස පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල ගුවන්විදුලි නාළිකාවක් ඊයේ සිට ක්‍රියාත්මක වේ. භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන මෙම ගුවන්විදුලි නාළිකාව ලෝකයේ ඕනෑම තැනක සිටින්නෙකුට අන්තර්ජාලය ඔස්සේ සවන් දිය හැකිය. මූලිකව සංගීතය මුල් කර ගත් මෙම නාළිකාව මඟින් ජාතික රූපවාහිනියේ සහ රූපවාහිනියේ සෙසු නාළිකාවල ජනප්‍රිය වැඩසටහන්වලට සමගාමීව විකාශනය කිරීමට සැලසුම් කර තිබේ. මේ ගැන අදහස් දැක්වූ එම නාළිකාවේ තාක්ෂණය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ සාමාන්‍ය ගුවන්විදුලි නාළිකාවක් ලෙස ට්‍රාන්ස්මීටර් උපයෝගි කරගෙන මෙම ගුවන්විදුලි සේවය ආරම්භ කළා නම්, ජාතික රූපවාහිනියට රුපියල් බිලියන ගණනක වියදමක් දැරීමට සිදු වන බවත් අන්තර්ජාලය ඔස්සේ මෙම විකාශනය ආරම්භ කිරීම නිසා විශාල මුදල් ඉතිරියක් මෙන්ම ලොව පුරා සිටින මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන්ට මෙම විකාශනයට සවන් දීමට හැකියාවක් තිබෙන බවය.

එමෙන්ම ජාතික රූපවාහිනිය ආරම්භ කළ නව වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙන්නේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන වැඩසටහන් මාලාවයි. ජාතික රූපවාහිනියේ අධ්‍යාපන අංශය මඟින් නිෂ්පාදනය කරනු ලබන වැඩසටහන් සිංහල භාෂාවෙන් විකාශනය කිරීම ජාතික රූපවාහිනිය ඔස්සේ ද දෙමළ මාධ්‍ය වැඩසටහන් නේත්‍රා නාළිකාව ඔස්සේ ද විකාශනය වේ.

තවද 2, 3 සහ 4 ශ්‍රේණි සඳහා ‘නැණ මිහිර’ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, එයට සමගාමීව ප්‍රශ්න පත්‍ර කට්ටල නිකුත් කිරීමක් ද සිදු කරනු ලබයි.

ගුවනින් පමණක් නොව භෞතිකව ද ජාතික රූපවාහිනිය ගමත් සමඟ මුහුණට මුහුණ සම්බන්ධතා ද ඇති කරගෙන සිටී. මෙරට ඇති වඩාත් අවධානය යොමු වූ විභාගයක් වන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ මූලික කර ගනිමින් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර තිබේ. මෙහි කිසිදු වාණිජ්‍ය අරමුණක් නැති අතර, හුදු ප්‍රජා සේවය පමණක් මූලික කර ගත්තකි. මෙම වැඩසටහනට සමගාමීව මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද ජාතික රූපවාහිනිය මඟින් ආරම්භ කර තිබේ. එමඟින් මවුපියන් වෙත අවශ්‍ය කරනු ලබන මානසික පසුබිම සකස් කිරීම මෙම මවුපියන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණවල අරමුණ බවට පත්ව තිබේ. මේ සඳහා ප්‍රාදේශීය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ විසිපහක් සංවිධානය කර තිබේ.

මුතුහර ළමා සමාජ සංකල්පය ද ජාතික රූපවාහිනියේ සිදු කළ යුග කාර්යයක් ලෙස සඳහන් කළ හැකි අතර, එම මුතුහර වැඩසටහන් දැනටත් දිවයින පුරා මෙන්ම අන්තර්ජාතිකව ද ක්‍රියාත්මකව තිබීම සුවිශේෂය. අන්තර්ජාතික මුතුහර සමාජ ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම සිදු කරනු ලැබේ.

භාෂා අධ්‍යාපනය

ලෝකයේ ප්‍රධාන භාෂා ඉගැන්වීම සඳහා වූ වැඩසටහන් ද ජාතික රූපවාහිනිය ඔස්සේ ක්‍රියාත්මක කරන අතර, මේ අතර ජපන් රැකියා සිහිනය සැබෑ කර ගැනීම සඳහා මඟක් ලෙස ජපානය සාදරයෙන් පිළිගනිමු, වැඩසටහන සතිපතා විකාශනය වේ. එය ජාතික රූපවාහිනියේ සුවිශේෂ සටහනක් ලෙස සඳහන් කළ හැකිය. මෙමඟින් අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් අතර, මෙය සුවිශේෂ එක් වැඩසටහනක් පමණි. පාසල් අධ්‍යාපනයට එහා ගිය වැඩසටහන් මඟින් ජාතික රූපවාහිනිය සෙසු රූප නාළිකා වෙත හසුනොවන සහ රූප මාධ්‍යයෙන් දුරස්ථව සිටින කණ්ඩායම් නැවත ජාතික රූපවාහිනිය වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

ජාතික රූපවාහිනිය යනු එක් ජන කොටසකට හෝ එක් ආගමකට හෝ සීමා වූ ආයතනයක් නොවේ. ඒ නිසා ජාතික රූපවාහිනිය නිතරම ජාතික අරමුණු සහිතව වගකීමෙන් යුතුව කටයුතු කරන ආයතනයකි. සිංහල මාධ්‍ය ඔස්සේ ජාතික රූපවාහිනී නාළිකාව කටයුතු කරන අතර, නේත්‍රා නාළිකාව දෙමළ භාෂාව වහරන පිරිස් ඉලක්ක කර වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටී. අද මෙරට දෙමළ භාෂාවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන රූප නාළිකා රැසක් තිබේ. එහෙත් ඒ නාළිකා සියල්ලම වාගේ ඉන්දීයානු ඌරුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන බව බැලූ බැල්මටම පැහැදිලිය. එහෙත් ජාතික රූපවාහිනියේ නේත්‍රා නාළිකාව මෙරට දෙමළ ජාතික ප්‍රජාව මූලික කරගෙන සිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කරමින් සිටී. රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ද ඉංග්‍රිසි භාෂාව, සිංහල ප්‍රාසාංගික වැඩසටහන්, වාර්තා වැඩසටහන් මුල් කරගෙන තම වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. ජාතික රූපවාහිනිය ජාතික අරමුණු මූලික කරගෙන තම ජාතික වගකීම ඉටු කරනු ලබන්නේ එසේය.

ප්‍රවෘත්ති ප්‍රකාශයේ වෙනස

ජාතික නාළිකාවේ ජාතික ප්‍රවෘත්ති ප්‍රකාශය පිළිබඳව කලක සිට නැඟුණු චෝදනාවලින් මිදී සමබර සහ ජාතික වගකීමෙන් යුතු ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. ජාතික වගකීමෙන් යුතු පුවත්, රජයේ පුවත් මෙන්ම පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීමට ද කටයුතු කර තිබේ. එමෙන්ම ජනතාව වෙත වැදගත් ප්‍රජා පුවත් ද විකාශනය කෙරේ.

එමෙන්ම ජාතික රූපවාහිනියේ සජීව යූටියුබ් නාළිකාව මෙන්ම පසුගිය වැඩසටහන් නැරඹීම සඳහා වූ යූටියුබ් නාළිකාව ප්‍රේක්ෂක කැමැත්ත දිනාගෙන තිබේ. මේ අතර රූපවාහිනි ප්‍රවෘත්ති වෙබ් අඩවිය ග්‍රාහක කැමැත්ත දිනාගෙන තිබේ.

1982 වර්ෂයේදී මෙරට ගුවන සිසාර පියඹා ගිය සැළලිහිණියා අදත් සිරිලක ගුවන පුරා පියඹා යන්නේ සිය ජාතික වගකීම සහ ප්‍රමිතියේ සන්නාමය ආරක්ෂා කර ගනිමිනි. කලින් කලට විවිධ නාළිකා රැලි බවට පත්ව ඉහළ පහළ ගිය ද ජාතික රූපවාහිනිය සැමදා ජාතික මට්ටමේ සිය වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිටිති. තවත් සියවසක් ගත වුවද ජාතික රූපවාහිනියට තිබෙන ජාතික කීර්තිය නොමැකෙනු ඇත.

උදිත ගුණවර්ධන

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT