Home » ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි

ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි

by chanaka
February 13, 2024 3:07 pm 0 comment

රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ වන විට තේරුම් අරන් ඇතැයිද පැවසුවේය.

නිදහසින් පසු අවුරුදු 06ක් හැර අනෙක් සියලුම අවුරුදු 70ක් තුළ ලංකා ආණ්ඩුවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබී නැතැයිද, අතීතයේ පැවති හෝ අනාගතයේ ඇතිවන කිසිදු ආණ්ඩුවකට මෑත කාලය තුළදී එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක් නැතැයිද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

මෙම ඉල්ලන ඉල්ලීම් සියල්ලම දීමට පුළුවන් නම් ආණ්ඩුව, මුදල් ඇමතිතුමා සහ ජනාධිපතිතුමා ඉතාම ඉක්මණින් එය ලබාදෙන බවද, වැටුප් වැඩිකිරීමට, අතිරේක දීමනා වැඩිකිරීමට සහ වෙනත් දීමනා ලබාදීමට හැකිනම් ඒවා ලබාදෙන බවද වැඩිදුරටත් පැවසුවේය.

මේවා දීමට බැරි වනුයේ ජනතාවට මීටත් වඩා වැඩි බරක් පැටවීමට ආණ්ඩුවට නොහැකි නිසා යැයිද එලෙස ලබාදීමට නම් මහජනතාවගෙන් එය ලබාගත යුතු යැයිද සඳහන් කළේය. 2023 වසරේදී භාණ්ඩාගාරයට ට්‍රිලියන 03ක් ලැබී ඇතැයිද, වියදම් දැරීමට ට්‍රිලියන 13ක් ගොස් ඇතැයිද එම වසරේ ට්‍රිලියන 10ක් මදිවී ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මෙම ඉල්ලීම් ලබාදීමට තවදුරටත් වැට් සහ ආදායම්බදු වැඩි කිරීමට ආණ්ඩුවට පුළුවන්කමක් නැතැයිද පැවසුවේය.

මෙම අසීරු අවස්ථාවේ මහන්සි වී වැඩි වැඩියෙන් වැඩ කළ යුතු අවස්ථාවක වැඩ වර්ජන කරනවා නම් ඒ පිළිබඳව මහජනතාව කල්පනා කළ යුතු යැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT