Home » ජෝර්දානයේ සිරවී සිටි ලංකිකයන් 66 ක් දිවයිනට

ජෝර්දානයේ සිරවී සිටි ලංකිකයන් 66 ක් දිවයිනට

by yasara
February 9, 2024 12:24 pm 0 comment

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ  තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා , වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල් වල , අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද  (09) තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නැමැති මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවෙකුටත් නොදන්නා පළා යාම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික ,

බංගලදේශ , ඉන්දීය සහ නේපාල ජාතික සේවකයින් වැටුප් , ආහාරපාන , ජලය , විදුලිය නොමැතිව අසරණ වී  තිබේ .

එහිදී මෙම කර්මාන්තශාලා වලින් ජැකට් සහ ටී ෂර්ට් මිළදී ගත් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු මෙම කර්මාන්තශාලා සේවකයින් හට අවශ්‍ය පහසුකම් සළසා දෙමින් , එම සේවකයින්ට තම මව් රට බලා යන තෙක් උදව් උපකාර කර තිබේ .

මෙම කර්මාන්තශාලා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී , විශේෂඥ නීතීඥ සහාය ලබා දෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමග එකගතා ඇති කර ගනිමින් කටයුතු කර තිබේ .

ඒ අනුව මෙම ශ්‍රී ලාංකික සේවකයින් හට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර , හිග වැටුප් , නිවාඩු සදහා ගෙවන වැටුප් , සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නොමැතිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාදයන් හිමි වී තිබුණි .

මෙහිදී අදහස් දැක්වූ මාතර බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා පත්මිණී මහත්මිය මෙසේ පැවසුවාය .

හිටි හැටියේම අපේ කර්මාන්තශාලාවේ අයිතිකරු , අපට නොදන්වා අතුරුදහන් වුනා . කොහේ ගියා ද කියලා අපට හොයා ගන්න බැරි උනා . එයාගෙ ෆෝන් එක ආන්සර් කළේ නැහැ .මෙම ඒ ෆැක්ටරියේ කාර්යාලයේ වැඩ කළේ . අපිට මාස 09 ක් විතර පඩි ලැබුණෙ නැහැ . අපේ ළමයි ස්ට්‍රයික් කළා . පාරට ඇවිත් උද්ඝෝෂණය කළා . අපිට ජෝර්දාන පොලිසිය ගැහුවා යැයි ද පැවසුවාය .

මේ අවස්ථාවේ මෙම පිරිස අතර සිටි පානදුර අජිත් පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය . අපිට අවුරුද්දක් විතර කන්න නැහැ . වතුර නැහැ . මේ කාළයේ ඒ රට හරිම ශීතලයි . අපි හුගක් දුෂ්කරතා වලට ලක් වුනා . අපිට ලංකාවට එන්න , කන්න බොන්න , වතුර , විදුලිය ලබා දීලා  උදව් කළේ ඇමෙරිකානු බයර් කෙනෙක් යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට 02/09 දින අලුයම 02.15 ට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් ද , තවත් 05 දෙනෙකු දෝහා සිට 02/09 දින අලුයම 02.55 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT