Home » මහ කන්නයේ වී මිලදී ගත යුතු අවම මිල ප්‍රකාශට පත් කරයි

මහ කන්නයේ වී මිලදී ගත යුතු අවම මිල ප්‍රකාශට පත් කරයි

by chanaka
February 9, 2024 12:35 pm 0 comment

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

රජය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබේ. ඒ අනුව සහණ ණය පදනමක් මත කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් අයිතිකරුවන්, වී ගබඩාකිරීම් කටයුතු කරන තැනැත්තන් හා වී එකතුකරන්නන් යන අංශ තුන සඳහා රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ණය මුදලක් ලබා දී ඔවුන් මගින් වී මිල දී ගැනීමට තීරණය කරනු ලැබීය.

මෙම පුද්ගලයින් මගින් වී මිල දී ගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වී සඳහා වන අවම මිල දී ගැනීමේ මිල ගණන් යටතේ වී මිල දී ගැනීමේ කටයුතු උක්ත සඳහන් අංශ මගින් සිදු කෙරේ.

මේ අනුව මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී සඳහා අවම මිල දී ගැනීම සඳහා වන මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

එම මිල ගණන් පහත සඳහන් පරිදි වේ.

තෙතමණය සියයට 14 මට්ටමක ඇති වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා වන මිල          රු. 105

සම්බා                                                               රු. 120

කීරි සම්බා                                                        රු. 130

තෙතමණය සියයට 14ට වඩා වැඩි වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා වන මිල          රු. 90

සම්බා                                                               රු. 100

කීරි සම්බා                                                        රු. 120

මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතුකරන්නන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ද වශයෙන් රජය විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ලබා දීමට නියමිතය.

මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ මිල දී ගනු ලැබිය හැක්කේ 2023/24 මහ කන්නයේ වී අස්වනු පමණි.

ඒ අනුව වි මිල දී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීම සිදු කළ යුතු වේ. එමෙන්ම මෙම වී මිල දී ගැනීම අධීක්ෂණය කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උපරිම මිල ගණන් තීරණය කිරිමේ දී ගොවි සංවිධාන ඇතුළු සියලු අංශවල අදහස් යෝජනා ලබා ගත්තේය. ඒ අනුව මෙම මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබීය. මෙම මිල ගණන් අනුව 2023/24 මහ කන්නය වී අස්වනු සඳහා ඉහළම මිලක් ලබා දීමට හැකි වී තිබේ.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව වී අලෙවි මණ්ඩලය විසින් ද මෙවර වී මිල දී ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පවසයි. විශේෂයෙන් සහල් මිල ඉහළ යන අවස්ථාවන්හිදී පාරිභෝගික ආරක්ෂාව සඳහා මෙන්ම වී මිල පහළ යන අවස්ථාවල දී ගොවිජනතාවගේ වී සඳහා මිල ස්ථාවරව පවත්වා ගැනීම යන අරමුණු කරගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දි ගනු ලබයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT