Home » කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘතිය ගැන සීඅයිඩීයට පැමිණිලි කරන්න
බඩඉරිඟු-කුරුඳු වගාකරුවන්ට මුදල් බෙදා දී නෑ

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘතිය ගැන සීඅයිඩීයට පැමිණිලි කරන්න

by sachintha
February 8, 2024 12:26 am 0 comment

කෘෂි ඇමැතිගෙන් ලේකම්ට උපදෙස්

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික ආයතනය (​IFAD) ආධාර මත ක්‍රියාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතියේ (SAPP) අවිධිමත් මූල්‍ය හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

මේ ව්‍යාපෘතිය මඟින් පසුගිය වසරවල සිදු කළ මූල්‍ය හා පරිපාලන කටයුතු පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ඇමැතිවරයාට ලැබී ඇති පැමිණිලි රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඇමැතිවරයා මේ බව දැනුම්දී තිබේ.

(SAPP) අධ්‍යක්ෂ ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු වහා ක්‍රියාත්මක වන පරිදි ඒ වැඩසටහනින් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට පසුගිය දා දැනුම් දී තිබිණි. එයට මූලික හේතුව වූයේ මහ කන්නයේ බඩ ඉරිඟු වගාවට බීජ, පොහොර සහ බිම් සැකසීම සඳහා හම්බන්තොට, අනුරාධපුර, මොනරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්වලට වෙන් කරන ලද රුපියල් බිලියන 10ක මුදල නිසි කලට නොදීම නිසා ගොවීන්ට පාඩු සිදු වීමයි.

රටකජු, බඩඉරිඟු ඇතුළු වගාවන් සිදු කරන දිස්ත්‍රික් 7ක ගොවීන්ට දීම සඳහා මේ ව්‍යාපෘතිය මඟින් බහු කාර්ය යන්ත්‍ර මිල දී ගැනීමේදී දැනට වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා වැඩි මිලකට ඒ යන්ත්‍ර මිලට ගැනීම සම්බන්ධයෙන්ද SAPP ව්‍යාපෘතියේ පාලනාධිකාරිය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත. මේ යන්ත්‍ර ගොවීන් 1,000කට පමණ පිරිනමා ඇති අතර, ඒ සඳහා ගොවීන් තෝරාගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැති බවද අනාවරණය වීතිබේ. ඇතැම් ප්‍රදේශවල එකම නිවෙසේ සාමාජිකයන් කීපදෙනකුට මේ යන්ත්‍ර ලැබී ඇතැයිද ගොවීන් ඇමැතිවරයාට පැමිණිලි කර තිබිණි.

මේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළද වසර කීපයක් ගත වී තිබුණත් ඒ වගාකරුවන්ට මේ වන තෙක් රුපියලක් හෝ නොලැබුණු බවටද ඇමැතිවරයාට පැමිණිලි ලැබී තිබිණි. මේ ව්‍යාපෘතිය මඟින් ණය මුදල් දීමේ පොරොන්දුව මත කුරුඳු වගාව ඇරඹූ වගාකරුවන් මේ වන විට අසරණ වී ඇතැයිද ඔවුන් ඇමැතිවරයාට දන්වා තිබිණි. මේ සියලු කරුණු සැලකිල්ලට ගත් ඇමැතිවරයා අදාළ ව්‍යාපෘතියේ මූල්‍ය හා පරිපාලන කටයුතු පිළිබඳ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT