Saturday, April 19, 2025
Home » ගිනිඅවි ඇදපු ධීවරයා භාර වෙයි
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය:

ගිනිඅවි ඇදපු ධීවරයා භාර වෙයි

by sachintha
February 8, 2024 12:25 am 0 comment

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනකු බෙලිඅත්තේ දී වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් ගිනිඅවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවකු නීතිඥයකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට පැමිණ පෙරේදා (06) භාර වී තිබේ.

අකුරැස්ස, ඉඹුල්ගොඩ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වියේ පසුවන ෂෙහාන් කාවින්ද නමැති මෙම සැකකරු ධීවර කාර්මිකයකු බව පොලිසිය කියයි.

පොලිසියට භාර වීමෙන් පසුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සමඟ මෙම පස් පුද්ගල ඝාතනයට සම්බන්ධ හා ආධාර හා අනුබලදීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෝ 15කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර තරුණියෝ දෙදෙනෙක්ද සිටිති.

වෙඩික්කරුවන් එම ඝාතනය සඳහා ගමන් කළ ජීප් රථයක්, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු පරිහරණය කළ ජීප් රථයක්, යතුරුපැදි දෙකක් ඇතුළු මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් පරිහරණය කළ වාහන කිහිපයක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

මෙතෙක් මෙම ඝාතනයේ වෙඩික්කරුවන් කොටුකර ගැනීමට හැකියාවක් ලැබී නැති අතර, ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන සිටින යුද හමුදාවෙන් නෙරපා සිටින මේජර්වරයා ඇතුළු කිහිප දෙනකුම සිටින්නේ පොලිසියට කට්ටි පනිමින් සැඟවීය.

වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු පසුගිය ජනවාරි 29 වෙනිදා රටින් පලාගොස් මේ වන විට එක්සත් එමීර් රාජ්‍යයට ගොස් කොස්ගොඩ සුජීගේ රැකවරණය මත සිටින බවත් අනෙක් වෙඩික්කරු සැඟවී සිටින බවත් පොලිසිය කියයි. රටින් පලාගිය වෙඩික්කරු නාවික හමුදාවේ විශ්‍රාමිකයකු වන අතර අනෙක් වෙඩික්කරු යුද හමුදා විශේෂ බළකායේ සේවයේ නරතව සිටියකු බව හඳුනාගෙන ඇත.

නීතිඥයෙකු මඟින් පොලිසියට භාරවූ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය සූදානමින් සිටියේය.

 

ගයාන් කුමාර වීරසිංහ / දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT