Home » රුපියල් 25,000ක පුද්ගලික ඇපයක් මත වෛද්‍ය චමල් සංජීව මුදා හරී
ඇමැති කෙහෙළියගේ නිවෙස ළඟ මල්වඩමක් තැබීමේ සිද්ධිය

රුපියල් 25,000ක පුද්ගලික ඇපයක් මත වෛද්‍ය චමල් සංජීව මුදා හරී

by sachintha
February 6, 2024 12:19 am 0 comment

පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවෙසේ ගේට්ටුව ඉදිරිපිට මල්වඩමක් රැගෙනවිත් සාපරාධී බියගැන්වීම හා අපහාස වන අයුරින් රැඳී සිටි බව කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ ‘වෛද්‍යවරුන්ගේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංවිධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා රුපියල් 25,000ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (05) නියෝග කෙළේය.

මෙම සිද්ධියට අදාළව නීතිඥවරයකු මඟින් අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය චමල් සංජීව නමැත්තා සැකකරුවකු ලෙසට භාරගන්නා නමුත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත්ව නොමැති බැවින් ඔහු නිදහස් නොකරන බවට සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එලෙස ඇප නියම කෙළේය.

නීතිඥ රජිත ලක්මාල් මහතා මෝසමක් මඟින් වෛද්‍ය චමල් සංජීව මහතා අධිකරණයට ඉදිරිපත් කළ අතර, නීතිඥ රසික සංජීව බමුණුහෙන්දර, නීතිඥ මංජුල පතිරාජ යන මහත්වරුන්ද අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

බෙහෙත් නඩුව සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අංඩගුවට ගෙන සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා තම සේවාදායකයා ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියදී අත්අඩංගුවට පත්ව කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදුන් බවත් එහිදී කුරුදුවත්ත පොලීසියේ නිලධාරියකු පැමිණ මෙම නඩුවට ඔවුන් අවශ්‍ය බවට සඳහන් කළ බවත් නීතිඥ රජිත ලක්මාල් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙළේය.

ඒ හේතුවෙන් මෝසමක් මඟින් තම සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කරන බවට සඳහන් කළ නීතිඥවරයා, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස ඉදිරිපිට තමන් තැබුවේ මල් කළඹක් මිස මල් වඩමක් නොවන බව කීය.

මල් ශාලාවට ගොස් මල් කළඹක් ඉල්ලූ විට ඔවුන් දුන්නේ එය බවත් තම සේවාදායකයා ප්‍රමුඛ පිරිස එය රැගෙන ආ බවත් පසුව එය මල්වඩමක් බවට පැමිණිල්ල සඳහන් කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ඇමැතිවරයා රක්ෂිත භාරයේ පසුවන බැවින් මෙම නඩුව පළමු අවස්ථාවේදී නිශ්ප්‍රභ කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළ ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය ජයමාන්න මහතා මේ වන විට රෝහල්ගතව සිටින බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කෙළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් කුරුඳුවත්ත පොලිසිය මෙතෙක් ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් නඩුවෙන් සැකකරු මුදා හැරිය නොහැකි බවය. ඒ අනුව සැකකරුට ඇප නියම කළ අධිකරණය සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියම කරමින් නඩුව ලබන මාර්තු මස 11 වැනිදාට කල් තැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අංක 121, විජයරාම මාවත, කොළඹ 07 පදිංචි චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල මහත්මිය විසිනි.

තමන්, පියා සමඟ නිල නිවෙසේ ජීවත් වන අතර, පසුගිය 01 වැනිදා පෙරවරු 11ට පමණ ආරක්ෂාවට සිටි යුද හමුදා නිලධාරියා පැමිණ නිවෙසේ ගේට්ටුව ඉදිරිපිට පුද්ගලයන් පිරිසක් මල් වඩමක් රැගෙන විත් ගේට්ටුව විවෘත කරන ලෙසට දන්වා සිටි බවට සඳහන් කළේ යැයි පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ බව කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් තමන් ඒ වන විට සිය පියාට දුරකතනයෙන් දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේදී නිවෙසට පැමිණෙමින් සිටි පියාගේ ‍ පෞද්ගලික ලේකම්වරිය වන නිපුනි ක්‍රිෂ්ණ ජිනා යන අයටද නිවෙසට ඇතුළු වීමට නොහැකි වූ බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කරුණු ඉදිරිපත් කර තිබිණි.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT