Home » මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයට හදිසියේ ආ අමුත්තා පොරොන්දු රැසක් ඉටු කරයි

මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයට හදිසියේ ආ අමුත්තා පොරොන්දු රැසක් ඉටු කරයි

by sachintha
February 6, 2024 12:18 am 0 comment

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම මෙම 09 වැනිදා එම විදුහලේදී සිදු කෙරේ.

සිසුන් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩබැස්ස වූ අවස්ථාවේදීය.

හදිසියේ තම පාසලට පැමිණි අමුත්තා රටේ ජනාධිපතිවරයා බව හඳුනා ගත් සිසුන් මෙන්ම ගුරුවරුන් ද ඉමහත් ප්‍රීතියට පත් වී තිබේ. ඒ අවස්ථාවේ හෙලිකොප්ටර් යානය අසලට පැමිණ සිසුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහදශීලි කතාබහක නිරත වීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය. පාසලේ සහ අවට ප්‍රදේශය තුළ පවතින අඩුපාඩුකම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා ඇත.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත. එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදීම උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කැර ඇත.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍ තෙන්නකෝන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ටී. ධර්මසිරි, මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී. හේරත් යන මහත්වරු, ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT