Home » ලුණු සංස්ථා සාමාන්‍යාධිකාරි ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු තහනමක්

ලුණු සංස්ථා සාමාන්‍යාධිකාරි ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු තහනමක්

by sachintha
February 6, 2024 12:17 am 0 comment

ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ධුරයෙන් ආචාර්ය අජිත් ශන්මුගනාදන් මහතා ඉවත් කරමින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සිය සේවය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස අත්හිටුවීමට එරෙහිව ආචාර්ය අජිත් ෂන්මුගනාදන් මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

මෙකී පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දක්වන ලෙස මෙහි වගඋත්තරකාර ලංකා ලුණු සමාගම, එහි සභාපතිවරයා සහ දස දෙනෙකුට නොතීසි නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

පෙත්සම්කරු ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ලෙස පත් කරනු ලැබූ අතර, පරිවාස කාලයකට යටත්ව සේවය කර ඇත.

අනතුරුව ඔහුගේ සේවය ස්ථිර කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් වසරේ ජූලි මස 14 වැනිදා තීරණය කර තිබූ අතර සේවය ස්ථිර කර ගැනීමේ නීතිමය අපේක්ෂාවක් තමන්ට ද තිබූ බව පෙත්සම්කරු කියා සිටී. එසේ තිබියදී පෙත්සම්කරුගේ සේවය අවසන් කිරීමට පසුගිය ජනවාරි මස 16 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

එලෙස සේවය අත්හිටුවීම අසාධාරණ අතරම ස්වභාවික යුක්ත මූලධර්මයට පටහැණි බවට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය කළේය.

ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම්, නීතිඥ පාරිස් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT