Home » හරක් කටාගේ හතරවන රැඳවුම් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලන පෙත්සම සම්බන්ධයෙන් නොතීසි

හරක් කටාගේ හතරවන රැඳවුම් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලන පෙත්සම සම්බන්ධයෙන් නොතීසි

by sachintha
February 6, 2024 12:17 am 0 comment

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නිකුත් කළ හතරවැනි රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නැවත යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නීතිඥවරුන්ට ඊයේ (05) නියම කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටියේ නැත. ඒ අනුව එම වගඋත්තරකරුවන් වෙත නැවත නොතීසි යැවිය යුතු බවට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවක් නොමැතිව දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීම මඟින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා නීතිඥ තුෂාරී ජයවර්ධන මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි ඒකකයේ පොලිස් පරීක්ෂක එස්.එච්.එස්. තුසිත කහගල්ලගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නඩු පවතින හෝ වරෙන්තු නිකුත් කර ඇති අධිකරණයකට සැකකරු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබියදීත් එසේ නොකර මේ වන විට රැඳවුම් නියෝග හතරක් වරින් වර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ. මේ වන විට දින 305කට අධික කාලයක් කිසිදු නිසි විමර්ශනයක් නොමැතිව ඔහු රඳවා සිටින බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

එම කාලය තුළ ගල්කිස්ස අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් අතර එම නඩුවට අදාළ කරුණු සම්බන්ධයෙන්ම වරින් වර විවිධ ආකාරයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා නමුත් වෙනත් කිසිදු විමර්ශනයක් හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොකළ බවද පෙත්සමෙහි සඳහන් වේ.

එසේම අලුතින් කිසිදු විමර්ශන කටයුත්තක් ආරම්භ කිරීමකින් තොරව ඔහු දිගින් දිගටම රැඳවුම් භාරයේ තබාගැනීම මඟින් වගඋත්තරකරුවන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට පෙත්සම් මඟින් පෙන්වා දී ඇත. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරුණු තිබේ නම් පමණක් ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් මීට පෙර නියෝගයක් ලබාදී ඇති බවද නීතිඥවරිය පෙන්වා දී තිබේ. එහෙත් ඔහුට එරෙහිව මෙතෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බවද පෙත්සමෙහි සඳහන් වේ.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටි පසුගිය 2023 /05 සහ 2023 /12 අතර කාලය තුළ ඔහුගෙන් සටහන් කරගෙන ඇත්තේ එකම කට උත්තරයක් පමණක් බවද නීතිඥවරිය සිය පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව එම පනත යටතේ ලබාගෙන ඇති රැඳවුම් නියෝගය නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

දිගින් දිගටම අසාධාරණ ලෙස රැඳවුම් නියෝග ලබා ගැනීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) එක වගන්ති මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට

ප්‍රකාශයක් කරන ලෙසද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT