Home » අනතුරුදායක රිය ධාවනයක යෙදී පොලිසියට චණ්ඩි පාට් දැමූ රියැදුරු ඇතුළු පිරිස අත්අඩංගුවට

අනතුරුදායක රිය ධාවනයක යෙදී පොලිසියට චණ්ඩි පාට් දැමූ රියැදුරු ඇතුළු පිරිස අත්අඩංගුවට

by sachintha
February 6, 2024 12:16 am 0 comment

පොලිස් අණ නොතකා අන්තරාදායක ලෙස මගී බස් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී සාපරාධී බලහක්කාරකම් පෑ බස් රථ රියැදුරු, හිමිකරු ඇතුළු තිදෙනෙක් අනුරාධපුර පොලිසිය පෙරේදා (04) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු පසුගිය 03 වෙනිදා අනුරාධපුර පොතානේගම හන්දියේ රාත්‍රී රථවාහන රාජකාරියේ නිරතව සිටියදී අනුරාධපුර නව නගරය දෙස සිට පුත්තලම දෙසට අධික වේගයෙන් අන්තරාදායක ලෙස ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් නතර කරන ලෙස සංඥාකර ඇත. එහිදී එම බස් රථය පොලිස් අණ නොතකා වේගයෙන් ඉදිරියට ධාවනය වී ඇති බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් එහිදී එම රථය පසු පස සිය යතුරු පැදියේ නැඟී හඹාගොස් ඇත. බස් රථය අනුරාධපුර බස් නැවතුම් පොළ ඉදිරිපිට නතර කළ විට පොලිස් නිලධාරීන් රියැදුරු අසලට ගොස් ඔහුට කළ වරද තේරුම්කර දී රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. අනතුරුව අන්තරාදායක ලෙස ධාවනය සහ පොලිස් අණ නොතකා ධාවනය යන වරදවල් සම්බන්ධයෙන් රියැදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් රියැදුරු බලපත්‍රය පොලිස් භාරයේ තබාගෙන තාවකාලික රියැදුරු බලපත්‍රයත් ලබාදීමට පියවර ගෙන ඇත.

එම අවස්ථාවේදී රියැදුරු බස් රථයෙන් බැස තවත් දෙදෙනකු සමඟ පොලිස් නිලධාරීන් වෙත පැමිණ රියැදුරු බලපත්‍රය උදුරාගෙන පොලිස් නිලධාරීන්ට පරුෂ වචනවලින් බැණ වැදී සාපරාධි බලහත්කාරකම් පා ඇත.

මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා අමතර පොලිස් නිලධාරීන් පිරිසක් එහි කැඳවා රියැදුරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයක නංවා පිටත්කර යැවීමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර බස් රථයේ හිමිකරු බව කියන 24 හැවිරිදි වියේ පසුවන ගම්පහ නයිවල පදිංචිකරුවකු, ගිරිබාව වරාවැව පදිංචිකරුවකු වන 30 හැවිරිදි රියැදුරා සහ නයිවල සංඝබෝධි මාවතේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වියේ පසුවන අයකු සිටින බව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT