ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සහ ලේකම් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට කැඳවති
චීනයේ පැවැති 19 වන ආසියානු කුසලාන බැඩ්මින්ටන් තරගාවලියට මෙරට බැඩ්මින්ටන් ශූර ක්‍රීඩකයා සිටියදී අනුශූරයා යොමු කිරීම සම්බන්ධයෙන් වාර්තාව සමඟ ඊට අදාළ ප්‍රකාශයක් ලබාදීමට ලබන 19 වැනිදා උදේ 9ට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සහ ලේකම්වරයාට ඊයේ (05) නියෝග කළේය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තෝරා පත්කර ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කරන්නේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව බවට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෝසමක් මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් හේතුවෙන් අධිකරණයෙන් නියෝග කළ පරිදි එම සංගමයේ සභාපති, ලේකම් ඇතුළු විධායක කමිටු සමාජිකයන්ට ලබන 07 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ද ලේඛන සහිතව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා බැඩ්මින්ටන් සංගමය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සහ ලේකම්වරයාට ලබන 19 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
2023 වර්ෂයේ චීනයේ පැවැති 19 වන ආසියානු කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය සඳහා අනූශූර විරේන් මෙත්තසිංහ නමැති ක්‍රීඩකයා යොමුකිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ බැඩ්මින්ටන් ශූර බුවනෙක ගුණතිලක නමැති ක්‍රීඩකයා වෙනුවෙන් ඔහුගේ මව වන දිස්නා රංජනී ඉලේපෙරුමආරච්චි මහත්මිය විසිනි.
බැඩ්මින්ටන් ශූර තම පුත්‍රයා ද එම තරගාවලිය සඳහා අයදුම්කර තිබූ අතර ඉහළම සුදුසුකම් තිබූ ඔහුගේ නම ඉවත් කර අඩු සුදුසුකම් ඇති ක්‍රීඩකයකු එම තරගාවලියට යොමු කිරීමට අදාළව විමර්ශනයක් කරන ලෙසට පැමිණිල්ල ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට පැමිණිලි කර තිබිණි.
මෙම වරද 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතේ 5 සහ 6 පනත ප්‍රකාරව වරදක් බව සඳහන් කළ එම ඒකකය, අදාළ පැමිණිල්ලට සම්බන්ධ ලේඛන ලබා දෙන ලෙසට එම ඒකකයට දැනුම් දුන්නද නීතිඥවරයකු මඟින් ඒවා ලබා දීමට හේතු විමසා තිබූ නමුත් ඒවා ලබා නොදුන් බව ද එම ඒකකය අධිකරණයට දැනුම් දී ඇත.
නිමන්ති රණසිංහ