Wednesday, April 23, 2025
Home » බිරියගේ අසනීපෙට බේත් ගන්න සල්ලි නැතිව අඹුසැමි යුවළ වස බීලා

බිරියගේ අසනීපෙට බේත් ගන්න සල්ලි නැතිව අඹුසැමි යුවළ වස බීලා

by sachintha
February 6, 2024 12:15 am 0 comment

බිරියගේ අසනීප තත්ත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත්, ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරියටද වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල්ආර ප්‍රදේශයෙන් පෙරේදා (04) සවස වාර්තා විය.

මෙලෙස වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළකි.

54 හැවිරිදි බිරිය දීර්ඝ කාලයක සිට කශේරුකාවේ තිබූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති අතර, ඇයගේ අසනීප තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව තිබේ. සිය බිරියගේ අසනීප තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන යාම හා ප්‍රතිකාර ලබා දීම ඇතුළු කටයුතු කිරීමට හා ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ආර්ථික තත්වයක් නොමැති වීමත් නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින බිරියට වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. වස පානය කිරීමෙන් අසාධ්‍යව නි‍ෙවසේ සිටි අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

ප්‍රදේශවාසීන්ද පැවසුවේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයකින් පසු වූ බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ආර්ථික තත්ත්වයක් දෙදෙනාට නොමැති වීමත් නිසා අඹු සැමි යුවළ කලක සිට දැඩි කලකිරීමකින් පසුවූ බවයි. සිද්ධිය පිළිබඳව සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT