Wednesday, April 23, 2025
Home » උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති අපයෝජන චෝදනාවෙන් නිදොස්කොට නිදහස්

උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති අපයෝජන චෝදනාවෙන් නිදොස්කොට නිදහස්

by sachintha
February 6, 2024 12:14 am 0 comment

මහාධිකරණය ලබා දුන් වසර 19ක සිරදඬුවම අභියාචනාධිකරණය අත්හිටුවයි

බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන චෝදනාවලට අදාළව කළුතර මහාධිකරණය මඟින් වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරල්ඩ් රෙක්ස් ජැන්සන් මහතා ගොනු කළ අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග විය.

2008 ජුනි මස 23 හෝ ඊට ආසන්න දිනයකදී කළුතරදී වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අතවර කිරීම යන කරුණු මත නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව දීර්ඝ විභාගයකින් පසු පූර්වගාමී විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිත වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2017 ජූලි මස 28 වනදාය .

ඒ අනුව පළමු චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක්ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම වූ අතර, වන්දි මුදල් නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 07ක සිර දඬුවමක් හා රුපියල් විසිදහසක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරන බවද ප්‍රකාශ කළේය.

වීඩියෝ සාක්ෂි පදනම් කොටගෙන මෙරට අධිකරණයකින් තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙහි චුදිත වූ බර්නාඩ් රෙක්ස් ජැන්සන් මහතා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන ලද්දේ ඉන් අනතුරුවය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිරෝෂන මිහිඳුකුලසූරිය මහතා සමඟ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය. මෙම සිද්ධියට අදාළව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුව සිටි උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති බර්නාඩ් රෙක්ස් ජැන්සන් මහතා වැඩ තහනමට ලක්ව සිටි අතර, පොලිස් දෙපාර්තමේන්තුව මඟින් කළ පරීක්ෂණයේදීද ඔහු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබුණි.

 

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT