Monday, April 21, 2025
Home » රොෂාන්ගේ 6 වැනි ගැසට්ටුවත් කුණු බක්කියට ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු අහෝසි කරයි

රොෂාන්ගේ 6 වැනි ගැසට්ටුවත් කුණු බක්කියට ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු අහෝසි කරයි

by sachintha
February 1, 2024 12:42 am 0 comment

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ “ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව” යනුවෙන් හඳුන්වනු ලබන කමිටු විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කළ හැකිය, යනුවෙන් පනවා තිබූ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කරයි. ඒ අනුව දැනටමත් පත් කර ඇති ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු අහෝසි කිරීමේ නව ගැසට් නිවේදනය ක්‍රීඩා ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

මෙයට දින තුනකට පෙර ප්‍රකාශයට පත් කොට ඇති මේ අති විශේෂ ගැසට් නිවේදනය අනුව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා සංගම්වලට අදාළව ප්‍රකාශයට පත් කළ 6 වැනි ගැසට් නිවේදනය බල රහිත වී ගියේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ පැන නැඟුණු අර්බුදකාරී තත්ත්වය සමඟම හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති සහ ලියාපදිංචි කිරීමට ඇති ක්‍රීඩාවන්ට අදාළව ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණය කිරීම සඳහා, ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධව දැනුම සහිත එක් පුද්ගලයකුගෙන් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් සැදුම්ලත් “ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු” පත් කිරීමේ බලය 2023 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා අංක 2351/07 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කළේය.

එයට පසුදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට බව පවසා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස යන මහත්වරු ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සඳහා හිටපු ඇමැතිවරයා විසින් නම් කළේය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනු දැනුමකින් හෝ අයිතිය පවරා දීමකින් තොරව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සමඟ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් නොමැති බව එම කවුන්සිලයේ ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා විසින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත ලිඛිතව දැනුම්දීම හේතුවෙන් එම ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවේ ක්‍රියාකාරීත්වයක් දක්නට නොලැබිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලු කටයුතු ස්වාධීනව හා බාහිර බලපෑමකින් තොරව සිදු කරගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පූර්ණ බලතල තිබිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක විසින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වෙත දැනුම්දී තිබිණි.

ක්‍රිකට් අතුරු කමිටුව බල රහිත කිරීමෙන් ආරම්භ වූ ගැසට් නිවේදන ආපසු හැරවීම, ජාතික ක්‍රීඩා සංගමයක හෝ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලතලවලට ඉදිරිපත්වීමේදී වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට නාමයෝජනා ලබාදිය නොහැකි යන වගන්තිය ඉවත් කිරීම, අභියාචනා ඉදිරිපත් කිරීමේදී ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50,000 සිට 15,000 දක්වා පහත හෙළීම හා ක්‍රීඩා සංගම්වල තේරීම් කමිටු පත් කිරීමේදී ඒ සඳහා වන නිර්දේශ ජාතික ක්‍රීඩා සභාව හරහා ලබාගත යුතුය යනුවෙන් කර තිබූ නියෝගය, කරාතේ දෝ සම්මේලනය හා ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය අහෝසි කරමින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍ර බල රහිත කිරීම ඇතුළු හිටපු ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර 6ක් මේ වන විට අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT