බාල එන්නත් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) පැය 09කට වැඩි කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන විට රාත්‍රී 7.00 පසුවී තිබිණි.
වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අද (01) දිනයේත් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ප්‍රකාශ ලබා දීමට ඊයේ පැමිණෙන ලෙස දන්වා තිබුණ ද පැමිණ තිබුණේ නැත. නීතිඥවරු මාර්ගයෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, බාල ඖෂධ සමාගමේ හිමිකරු සුදත් නිශාන්ත ඇතුළු සැකකරුවන් හත් දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නඩුව යළි අද (01) කැඳවීමට නියමිතය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඊයේ පෙරවරුවේ සිට පොල් ගසමින් දේව කන්නලව් කරමින් කලහකාරී ලෙස හැසුරුණු අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර ඇතුළු 10 දෙනෙක් කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ද ඒ අතර සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
සුභෂිණී සේනානායක