Home » විදුලි බිලක මුදල් වංචාවකට කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ නිලධාරියෙක් රිමාන්ඩ්

විදුලි බිලක මුදල් වංචාවකට කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ නිලධාරියෙක් රිමාන්ඩ්

by sachintha
February 1, 2024 12:41 am 0 comment

පාරිභෝගිකයකු ගෙවූ රුපියල් 99,359/=ක විදුලි බිලකට අදාළ මුදලක් වංචා කළැයි කෙසෙල්වත්ත පොලිසිය අඩංගුවට ගත් කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරියකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31) නියෝග කළේය.

රජයේ සේවකයන් විශ්වාස කරමින් පාරිභෝගිකයන් සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා තැපැල් කන්තෝරු වෙත එන බවත්, ඒ විශ්වාසය කඩ කරමින් මෙම සැකකරු කිහිප වතාවක්ම විදුලි බිල් ගෙවූ බවත් අඟවමින් මුදල් වංචා සහගතව සොරාගෙන ඇති බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො. 66, මාමුදාවෙල, කැටකුඹුර, කඩුගන්නාව පදිංචි කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරියකු වන රොශාන් වසන්ත කුමාර (37) නමැත්තාය.

මෙම සැකකරු මින් ඉහතදී සේවය කළ කඩුගන්නාව ප්‍රදේශයේ තැපැල් කාර්යාලයකදී ද මෙවැනිම ආකාරයේ විදුලි බිල්පත් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, මුල්ලේරියාව උතුර, මුල්ලේරියාව නව නගරයේ පදිංචි අතුකෝරලාගේ සුභාෂිනි අතුකෝරාල නමැති තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය විසිනි.

සැකකාර තැපැල් සේවා නිලධාරියා නිකුත් 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්තව කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, එහි මුදල් ඇනවුම් කවුලුව, මුද්දර කවුළුව, ලියාපදිංචි ලිපි කවුළුව සහ තැපැල් ලිපිකරු අංශයේ සේවය කරනු ලබන බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය ඇතිකරණයට සඳහන් කළේය.

මෙම සැකකරු ඉකුත් 10 වැනිදා කොළඹ උසාවි තැපැල් කාර්යාලයේ මුදල් අය අයකැමි වශයෙන් කටයුතු කර ඇති බවත් එදින එම ස්ථානයට පැමිණි කාන්තාවක විසින් නිවාස සංකීර්ණයකට අදාළ රුපියල් 99, 359/=ක විදුලි බිල්පතක් කවුන්ටරයෙන් ගෙවා බිල්පතක් ද රැගෙන ගොස් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පාරිභෝගිකයා පිටව ගිය පසු මෙම සැකකරු අදාළ මුදල සම්බන්ධයෙන් වන රිසිට් පතේ ඉතිරි කොටස තම බෑගයට දමාගෙන පරිගණකයට ඇතුළත් කළ දත්ත මකා දමා ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වන බව කෙසෙල්වන්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිද්ධියෙන් දින කිහිපයකට පසු අදාළ විදුලි බිල්පතට මුදල් ගෙවී නොමැති බවට අදාළ පාරිභෝගික කාන්තාව තැපැල් ස්ථානාධිපතිනියට කළ පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී සැකකරු මෙලෙස වංචා කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී තමන් මෙම වංචාව සිදු කළ බවත් තවත් මෙවැනිම ආකාරයෙන් වංචා කළ බිල්පත් කිහිපයක් තම ගමන් මල්ලේ ඇති බව සැකකරු ප්‍රකාශ කළ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු මින් ඉහතදී ද සිදුකර ඇති මෙවැනිම ආකාරයේ මුදල් වංචා සම්බන්ධයෙන් තැපැල් මූලස්ථායේ තැපැල් පාලන විමර්ශන අංශය මගින් විමර්ශනයක් පවත්වමින් තිබෙන බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 166, 167, 392 (ආ), 367, 386 සහ 400 යන වගන්තිවලින් කියවෙන වැරදි සිදු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසාන නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල්තැබීය.

කෙසෙල්වත්ත පොලිසියේ අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්. එම්. කරුණාරත්න, පොලිස් කොස්තාපල් (102282) එන්. එම්. කුමාර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළහ.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT