Home » සනත් නිශාන්තට එරෙහි පෙත්සම් තුනක් හෙට කැඳවයි

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් තුනක් හෙට කැඳවයි

by sachintha
February 1, 2024 12:40 am 0 comment

“නීති ක්‍රියාවලිය, විනිසුරුවරුන් සහ නීතිඥයන්” සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් තුනක් පෙබරවාරි මස 02 වැනිදා නැවත කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (31) නියම කළේය.
මෙහි වගඋත්තරකාර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා හදිසි අනතුරකින් මිය යාම නිසා මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද යන්න තීරණය කිරීම සඳහා එම පෙත්සම එදින කැඳවීමට තීරණය කෙරිණි. සෝභිත රාජකාරණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.
මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ අධිකරණය සේවා සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා නීතිපතිවරයා නම් කර තිබේ.
2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර, ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරිණි.
නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT