Wednesday, April 23, 2025
Home » ක්‍රිකට් ඉහළම පුටුවට යන්න ජේ ෂා තනතුරු 2ක් අත්හරී බාලි දූපතේ අද මහා සභා රැස්වීම තීරණාත්මකයි

ක්‍රිකට් ඉහළම පුටුවට යන්න ජේ ෂා තනතුරු 2ක් අත්හරී බාලි දූපතේ අද මහා සභා රැස්වීම තීරණාත්මකයි

by sachintha
January 31, 2024 1:00 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරග කිරීම උදෙසා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරෙන් හා ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුරෙන් ජේ ෂා මහතා ඉල්ලා අස්වීමට සූදානම් වෙයි. අද දින ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභා රැස්වීමේදී ජේ ෂා මහතා මේ බව ආසියානු ක්‍රිකට් ප්‍රධානීන් වෙත ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි පැවැසේ.

ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා ක්‍රිකට් ලෝකයේ ප්‍රබලතම පුද්ගලයෙකු වන ජේ ෂා මහතාට ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුරේ රැස්වීම්වලට සහභාගි වීමට සහ ක්‍රීඩාවේ දියුණුවට සම්බන්ධ විවිධ මෙහෙයුම් උදෙසා ඉන්දීය රුපියල් 3,50,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 13ක පමණ) මාසික දීමනාවක් ලැබෙන අතර, එයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ දීමනාද අමතක කොට ජාත්‍යන්තර ක්‍රිකට් සභාපති තනතුරට පත්වී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා නිලවරණය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරේ වසර 2ක නිල කාලයකට පත්වූ ජේ ෂා මහතා මේ වන විට එහි වසරකට වැඩි කාලයක් සම්පූර්ණ කොට තිබේ.

ජේ ෂා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර භාර ගැනීමට නම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරෙන් ඉවත් විය යුතු වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ධූරයට තරග කිරීමට සිදුවන හෙයින් ආසියානු ක්‍රිකට් කවුන්සිල ඉදිරි නිලවරණයට පෙර ඒ මහතා ඉල්ලා අස්විය යුතු වේ. එමෙන්ම අයිසීසී භූමිකාව දරද්දී ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයාට ඉන්දීය පාලක මණ්ඩලයේ භූමිකාවෙන් ද ඉවත් වීමට සිදු වනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිල වාර්ෂික රැස්වීමට ආසියාවේ සියලුම ක්‍රිකට් ආයතනවල සාමාජික රටවල නියෝජිතයින් සහභාගි වන අතර, එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම ප්‍රධාන කරුණකි. එසේම 2025 ආසියානු කුසලාන තරගාවලිය එක්දින ලෙස හෝ විස්සයි 20 ලෙස පවත්වන්නේද යන්න තීරණය කිරීමද මෙම මහ සභාවේදී සිදු වේ.

ඉදිරි ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය තීරණය වීම ද සිදු කෙරෙන අතර, එහි සත්කාරකත්වය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය තරගයට පිවිස සිටිති. 2023 ආසියානු කුසලානය පාකිස්තානය විසින් ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ දෙමුහුන් සත්කාරකත්වයෙන් පැවැත්විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිල විකාශන අයිතිය සම්බන්ධයෙන් ද මෙම මහ සභා රැස්වීමේදී තීරණය කෙරෙන අතර, ඉදිරි ආසියානු කුසලාන තරගාවලිය, වයස අවුරුදු 23න් පහළ හා 19න් පහළ පිරිමි – කාන්තා ආසියානු කුසලාන තරග මෙම විකාශන අයිතියට ප්‍රධාන වශයෙන්ම අදාළ වේ.

දැනට ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් ඩිජිටල් විකාශන අයිතිය දරන අතර, ස්ටාර් ටීවී රූපවාහිනී විකාශන අයිතිය හිමිකරගෙන සිටී. මෙම ආයතන දෙක මෙයට වසර 8කට පෙර එහි අයිතිය මිලදී ගත් අතර, ඔවුන් තවදුරටත් මෙම අයිතීන් වෙනුවෙන් තරග කරන්නේද යන්න ප්‍රකාශ කොට නැත. කෙසේ වුවද මාධ්‍ය හිමිකම් වෙන්දේසියෙන් පසු සියලුම ප්‍රධාන විකාශන ආයතන ප්‍රධානීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ආරාධනා කර ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT