දරුවන් කෑගහද්දී නාවික හමුදාවෙන් බේරාගනී
යාපනයේ මයිලිට්ටි මුහුදේ බෝට්ටුවක් මත සිට කෑගැසූ වයස අවුරුදු දෙකක හා හතක ළමයින් දෙදෙනකු හා තවත් අයෙකු නාවික හමුදා හට පිරිසක් විසින් පෙරේදා(29) බේරාගෙන තිබේ.
අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයකු සිය දරුවන් දෙදෙනා බෝට්ටුවක නංවාගෙන මුහුදේ ගමන් කරමින් සිටිය දී බෝට්ටුව අනතුරකට පත් වීමට ගිය අවස්ථාවේදී ළමයින් දෙදෙනා බියට පත්ව කෑගසා තිබේ.
වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ පිරිසක් බෝට්ටුවකින් බෝට්ටුව වෙත හඹා ගොස් ළමයින් දෙදෙනා හා වැඩිහිටි අය ගොඩබිමට රැගෙන විත් ඇත.
නාවික හමුදා නිලධාරින් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ බීමත් පුද්ගලයාට බෝට්ටු පැදවීමට නොහැකි බවත් ඔහුට බෝට්ටුවක් පවා නැති බවත්ය.
ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසුව සිය ළමයින් දෙදෙනා කැටුව මුහුදු වෙරළට ගොස් වෙරළේ නවතා තිබූ බෝට්ටුවක ළමයින් දෙදෙනා නංවා ගෙන බෝට්ටුවෙන් මුහුද මැදට ගොස් ඇත.
ඔහුට නිසි ලෙස බෝට්ටු පැදවීමට නොහැකි නිසා බෝට්ටුව මුහුදේ විශාල රළ පහරකට හසු වූ අවස්ථාවේදී බෝට්ටුව කැරකැවෙන්නට පටන් ගැනීම නිසා ළමයින් බියට පත්ව කෑගසා තිබේ.
නාවික හමුදාවේ පිරිසක් විසින් ඔවුන් බේරා ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය.
සිද්ධිය දැනගත් පසුව පියාට තරයේ අවවාද කිරීමෙන් පසුව ඔවුන් තිදෙනා නාවික හමුදාවේ නිලධාරින් විසින් ආපසු නිෙවසට යවා ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ