Tuesday, April 22, 2025
Home » විපක්ෂ නායක ඇතුළු 16කට උසාවි 3කින් තහනම් ආඥාවක්
සජබ විරෝධතාවට තහනමක්

විපක්ෂ නායක ඇතුළු 16කට උසාවි 3කින් තහනම් ආඥාවක්

by sachintha
January 31, 2024 12:55 am 0 comment

සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මහා මාර්ගය භාවිත කරන්නන්ට සහ පදිකයන්ට අවහිරයක් හෝ බාධාවක් වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 16 දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ තුනකින් තහනම් ආඥාවක් ඊයේ (30) නිකුත් කළේය.

මාලිගාවත්ත පොලිසිය මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවටත් කොටුව කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේත් සහ මරදාන පොලිසිය මඟින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉදිරියේත් මෙම ඉල්ලීම් කරනු ලැබ තිබූ අතර ඒවා සැලකිල්ලට ගැනීමෙන් පසු මෙම තහනම් ආඥා නිකුත් කර තිබිණි.

ඒ අනුව මෙලෙස තහනම් ආඥාවක් නිකුත් වූයේ, සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක අබේසිංහ, හේෂා විතානගේ, සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු මෙම විරෝධතා ව්‍යාපාරවලට සහභාගි වන්නන්ටය.

සමගි ජන බලවේගය 15,000ක පමණ පිරිසක් සමඟ මරදාන කුරුඳුවත්ත පොලිස් වසම්වල සිට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ CTO හන්දිය, ඕල්කට් මාවත, චැතැම් පාර, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, බාලදක්ෂ මාවත ඇතුළු මාවත් ගණනාවක් ඔස්සේ ගාලුමුවදොර වෙත පැමිණීමට නියමිත බවට බුද්ධි සේවා තොරතුරු ඔස්සේ සනාථ වී ඇති බවට බී වාර්තා ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් එම උද්ඝෝෂණ තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ වන විටත් නිදහස් උත්සවය සඳහා ගාලුමුවදොර සූදානම් කර ඇති බවත් නිදහස් උත්සවය සඳහා සන්නද්ධ රථ සහ ප්‍රදර්ශන රථ ගණනාවක් මාර්ග දෙපස නවත්වා ඇති බවත් කියා සිටි පොලිසිය ඔවුන් ඒවාට අලාභහානි කිරීමේ ඉඩක් ඇති බවත් කියා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රදර්ශන රථ ගණනාවක් නවත්වා ඇති ගාලුමුවදොර ඇතුළු ස්ථානවලට ඇතුළු වීමට තහනම් කරමින් නියෝග නිකුත් කළේය. ඒ අනුව මරදාන පොලිස් වසමේ කොළඹ ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්, මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදීපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත, ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත සහ කොටුව පොලිස් වසමේ කොළඹ කොටුව, කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය ඇතුළු ප්‍රදේශ මෙම විරෝධතාකරුවන්ට තහනම් කලාප ලෙසින් ආඥාවේ දක්වා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව භාෂණයේ නිදහස සුරකිමින් මහජනතාවට අවහිර නොවන අයුරින් එම විරෝධතා පැවැතීම තහනම් නැති බව ද අධිකරණ නියෝගවලින් සඳහන් කර ඇත.

මේ අතර, කුරුඳුවත්ත පොලිසිය ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ද මෙම විරෝධතාව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්තිය ප්‍රකාරව තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්තිය භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති නිදහස උල්ලංඝනය කිරීම කළ නොහැකි බවය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසිය කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑම පුරවැසියකුටම සාමකාමීව රැස්වීමේ නිදහස ලබාදී ඇති බැවින් විරෝධතා තහනම් නොකරන බවත් එමඟින් මහජනයාට පීඩාවක් ඇතිවන අයුරින් යම් විරෝධතාකරුවකු කටයුතු කළහොත් පොලිස් බලතල ක්‍රියාත්මක කරන ලෙසත් අධිකරණයෙන් නියෝග නිකුත් විය.

නිමන්ති රණසිංහ, සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT