Home » ලෙව්වන්දූවේ චීවරධාරියෙක් ගිහි ඇඳුමෙන් කතුන් තිදෙනකු සමඟ සවාරියක

ලෙව්වන්දූවේ චීවරධාරියෙක් ගිහි ඇඳුමෙන් කතුන් තිදෙනකු සමඟ සවාරියක

by sachintha
January 31, 2024 12:52 am 0 comment

සමාජ මාධ්‍යවල ඡායාරූප පළ වීමෙන් පසු දායක පිරිස් විරෝධතාවක

ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු සිවිල් ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනකු ද සමඟ චාරිකාවකට සහභාගි වූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම මුල්කරගෙන විහාරස්ථානයේ දායක පිරිසක් විසින් උද්ඝෝෂණයක් පවත්වා උන් වහන්සේව පෙරේදා (29) රාත්‍රියේ විහාරස්ථානයෙන් පිටමං කර තිබේ. චීවරධාරියා සිවිල් ඇඳුමෙන් සැරසී විහාරස්ථානයේ වැන් රථයෙන් රියැදුරු සහ තවත් කාන්තාවන් තිදෙනකු සමඟ ඉකුත් 26 වැනිදා අලුයම කතරගම, ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල දෙදින චාරිකවක යෙදී ඇත. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී උන් වහන්සේ කලිසමක් සහ කමිසයකින් සැරසී සිටින අවස්ථාවක කිසියම් පුද්ගලයකු ලබාගත් ඡායාරූප මුහුණුපොතේ පළ කර ඇති බව සඳහන් වේ.

එම ඡායාරූප සහ විස්තර දැනගත් විහාරස්ථානයේ දායක පින්වතුන් ඇතුළු ගම්වාසීන් දෙසීයකට ආසන්න පිරිසක් විහාරස්ථානය වටකර චීවරධාරියාට පිටව යන ලෙස බල කරමින් පෙරේදා උද්ඝෝෂණයක නිරත වී ඇති බව වැලිපැන්න පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම උද්ඝෝෂණය පැවති විහාරස්ථානය ඉදිරිපිටට වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් ගොස් එහි සිටි පිරිස පාලනය කිරීමට කටයුතු කළ බව ද එම නිලධාරියා කීය. ඒ අතරතුර වලගෙදර සහ කැකුලන්දල ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථාන දෙකක පරිවේණාධිපති හිමිවරුන් ද විහාරස්ථානයට වැඩම කර සිට ඇති බව පොලිසිය කීය.

එම පරිවේණාධිපති හිමිවරුන් සහ දායක සභාව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව විහාරස්ථානයේ වැඩසිටින අනෙක් ස්වාමීන් වහන්සේ දෙනමට වගකීම පවරා චීවරධාරියා උන් වහන්සේගේ කැමැත්ත මත එදින රාත්‍රි 8.30ට පමණ මතුගම ප්‍රදේශයේ විහාරස්ථානයකට පිටත් කර යැවූ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමඟින් උන් වහන්සේ සමඟ චාරිකාවට එක්ව ඇති කාන්තාවන් කවුරුන් ද යන්න ප්‍රදේශවාසීන් විසින් සොයමින් සිටින බව ද වාර්තා වේ. පිටමංකර යැවූ චීවරධාරියා පවසනු ලබන්නේ, තමන් වහන්සේ සමඟ පෙර ආරවුලක් ඇති කර ගත් පුද්ගලයකු මේ සඳහා මුල්වී ඇති බවය. ඊයේ (30) උදැසන වැලිපැන්න පොලිසියට ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්දයෙන් ද විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසීය.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT