Home » අවි දෙක සැඟවීමට ආධාර දුන් රූපලාවණ්‍ය සේවිකාවෝ දෙදෙනා රත්ගමදී මාට්ටු
බෙලිඅත්තේ 5ක් ඝාතනය

අවි දෙක සැඟවීමට ආධාර දුන් රූපලාවණ්‍ය සේවිකාවෝ දෙදෙනා රත්ගමදී මාට්ටු

by sachintha
January 31, 2024 12:51 am 0 comment

 

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්න ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ටී-56 අවි දෙක සැඟවීමට ආධාර හා අනුබල දුන් කතුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු හක්මන සහ හුංගම පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

රූපලාවණ්‍යාගාරයක පුහුණු සේවිකාවන් ලෙස කටයුතු කරන මෙම කතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හක්මන පොලිසියේ නිලධාරීන්ය. ඔවුන් බූස්ස කඳුරුපේ සහ පාසල් හන්දිය මාවතේ පදිංචිකාරියන් බව පොලිසිය කියයි.

අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (29) පෙරවරුවේ රත්ගමදී බව පොලිසිය කියයි. බූස්ස පිටිවැල්ල පදිංචි 57 හැවිරිදි පුද්ගලයකු සහ මීගමුව පෙරියමුල්ල පදිංචි 27 හැවිරිදි අයකුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකි. පෙරේදා (29) රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරදී ඇත. පසුගියදා (22) සිදුවූ වෙඩි තැබීමෙන් පසු ගිනිඅවි දෙක 23 වැනිදා උදෑසන 6.30 වනතුරුම තිබී ඇත්තේ මෙම ප්‍රහාරය මෙරට සිට මෙහෙයවූ බව කියන අකුරැස්සේ පදිංචිකරුවකු වන සමන් කුමාර නමැති අයගේ නිවෙසේය. 23 වැනිදා උදෑසන ඔහු ඩුබායිහි සිට ලද උපදෙස්වලට අනුව එම ගිනිඅවි දෙක යතුරුපැදියකින් අකුරැස්ස නගරයට රැගෙන ගොස් ඇත. එහිදී යතුරුපැදියකින් පැමිණ සිටි අයකුට ඔහු ගිනිඅවි භාරදී තිබිණි. එම පුද්ගලයා එම අවි දෙක කරාපිටියට රැගෙනවිත් එහිදී තවත් යතුරුපැදියකින් පැමිණි අයකුට භාර දී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ කරාපිටියේ සිට බූස්සට එම ගිනිඅවි දෙක රැගෙනවිත් ඇති බවය.

සමන් කුමාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ගිනිඅවි ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය පොලිසිය මඟින් සොයාගෙන තිබේ. අනතුරුව අකුරැස්සේ සිට එම ගිනිඅවි දෙක කරාපිටියට රැගෙන පැමිණි පුද්ගලයාව ආරක්ෂක කැමරා පරීක්ෂාවකින් අනතුරුව හඳුනා ගනු ලැබීය. රත්ගම කටුදම්පේ පදිංචිකරුවකු වන ඔහුව ද යතුරුපැදිය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාව දින හතක රැඳවුම් නියෝග මත පොලිස් ස්ථානයේ රඳවාගෙන විමර්ශන පවත්වනු ලබයි. කරාපිටියේ සිට බූස්ස දක්වා ගිනිඅවි රැගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙකි. එම පුද්ගලයා මේ වන විට පලාගොස් සැඟව ඇති බව පොලිසිය කියයි. එම යතුරුපැදිය ද පොලිසිය මඟින් සොයාගෙන තිබේ. එම යතුරුපැදිය අත්අඩංගුවට ගත් එක් සැකකාරියකට අයත් එකක් බව පොලිසිය කියයි.

මෙම කතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවි ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය සැකකරුවකුට ලබා දෙමින් පස් පුද්ගල ඝාතනයට ආධාර හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකපිට බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ, දකුණු පළාත් සංචාරකඑස්. දීයගහගේ, සූරියවැව විශේෂ නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT