විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් අවලංගු කෙරුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 (2024) විභාගයට අදාළ කෘෂි විද්‍යාව පළමු හා දෙවැනි පත්‍රයේ විශේෂ විභාගය හෙට (01) පැවැත්වේ.
මෙම ප්‍රශ්න පත්‍රයන්ට පිළිතුරු ලියන සිසුන් කලින් පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේදීම විභාගයට පෙනී සිටිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
හෙට (01) උදෑසන 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවැනි පත්‍රය ද සවස 1.00 සිට 3.00 දක්වා කෘෂි විද්‍යාව පළමු පත්‍රය ද පැවැත්වේ.
කෘෂි විද්‍යාව විභාගය පසුගිය 08 වැනිදා සහ 10 වැනිදා දිනයන්හි පැවැතිය ද ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හේතුවෙන් එම විභාගය අවලංගු කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ද ආරම්භ කර ඊට අදාළ සැකකරුවන් ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට නව විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව පාසල් විභාග අපේක්ෂකයන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයන් සඳහා වන ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද මේ වන විට තැපැල් කර තිබේ.
මෙතෙක් ප්‍රවේශ පත්‍ර නොලැබුණු විභාග අපේක්ෂකයන් සඳහා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ ප්‍රවේශ පත්‍රය බාගත කරගත හැකිය. කෘෂි විද්‍යාව (08) අවලංගු කළ විෂය සඳහා පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ඉහත පරිදි ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට නොහැකි වුව ද තමා මුල් අවස්ථාවේදී විභාගයට පෙනී සිටි විභාග මධ්‍යස්ථානයට ගොස් මෙම විශේෂ විභාගයට පෙනී සිටීමට බාධාවක් නැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
මෙම විභාගයට අදාළව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 011-2784208, 011-2784537, 011-2786616 දුරකතන අංකයන් ඇමතිය හැකිය.
සන්ධ්‍යා කරුණාරත්න