පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කථානායකවරයාගේ උපදෙස් මත එම සිදුවීමට අදාළව කරුණු සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කරන්නීය. පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළාය.
ඇය විසින් නිකුත් කර ඇති එම ප්‍රකාශය මෙසේය.
“පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන් කිහිපදෙනකුට 2022 වසරේ හා ඊට පෙර හිරිහැර වූ බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ලෙස පත්වීමෙන් පසුව මා වෙත වාර්තා වූ අතර ඒ අනුව කථානායකවරයාගේ උපදෙස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය සඳහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කෙරිණි. එම විමර්ශන කමිටු වාර්තාව පසුගියදා මා වෙත ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර එකී වාර්තාව අධ්‍යයනය කරන ලද නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ලක් වාර්තා කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය. මේ අනුව අදාළ වාර්තාව මා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදුකරන ලද විමර්ශන අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මා විසින් පත්කරන ලද කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ලදුව එතුමාගේ උපදෙස් අනුව පොලිස්පතිවරයා වෙත යොමු කර ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදුකළ විමර්ශන අනුව වේ. පාර්ලිමේන්තුව තුළ කුමන තරාතිරමේ අයකු විසින් සිදුකරනු ලබන හෝ මාගේ සේවා කාලයට පෙර හෝ සිදුකරනු ලැබ ඇති ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට මා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය කිසිසේත්ම පසුබට නොවන බවත් ඒ සඳහා කථානායකතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන බවත් වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු”
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණදීර