පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසනය කිරීම සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයන් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (30) දින නියෝග කළාය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම කනිෂ්ඨ සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) දිනයේදීය. ඒ අතර සහකාර ගෘහ පාලකවරුන් දෙදෙනෙක් ද වෙති. මෙම ලිංගික හිංසනය 2022 වසරේදී පමණ සිදුව ඇති බවත් ඊට අදාළ පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය වෙත නියෝග කළාය.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි