Home » උරුමයෙන් දෙන ඔප්පු දස දහස සකසා අවසන් -සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය

උරුමයෙන් දෙන ඔප්පු දස දහස සකසා අවසන් -සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය

by sachintha
January 31, 2024 12:46 am 0 comment

 

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.බී.පී. හේරත් මහතා පැවැසීය.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (30) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි 05 වැනිදා පැවැත්වේ.

සියලුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.

උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අය-වැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙහි දී සිදු කෙරේ. යටත් විජිත සමයේ විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා ස්වදේශිකයන්ට බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහි දී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම්හිමි ජනතාවට නොතිබුණු බව ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT