මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ පුද්ගලයකු බෙලිඅත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සිදු කළ බව කියන සාකච්ඡාවකට අදාළ හඬ පටයක් සිය යූටියුබ් නාළිකාවේ ටික් ටොක් ඔස්සේ උඩුගත කරමින් රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර කිරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ අරගල ක්‍රියාකරුවකු වන ප්‍රියත් නිකේශල යන අය අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30) නියෝග කළේය.
තවත් පුද්ගලයෙක් සිදු කළ සංවාදයක් උඩුගත කරමින් අදහස් 38,000ක් ලැබී ඇති අතර එහි වෛරීසහගත අදහස් වැඩි ප්‍රමාණයක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය. සැකකරු ඇප මත සිටිමින් මේ වැරදි සිදු කර ඇති බවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, පොදු දේපළ පනතේ සහ පරිගණක අපරාධ පනතේ ගැනෙන වරදවල් සිදු කර ඇති බවත් කීය.
මේ සිද්ධියේ දුරකතන සංවාදය පටිගත කළ මහමොළකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතින බව කී පොලිසිය සැකකරු හිතාමතාම මෙය විකාශනය කර ඇති බවද පෙන්වා දුන්නේය.
එම නිලධාරියා මෙසේ පැවසීය.
සැකකාර පුද්ගලයා මේ දුරකතන සංවාදය පටිගත කළ එකක් බව දැන දැනම වෛරී චේතනාවෙන් යූටියුබ් නාළිකාව හරහා උඩුගත කර තිබෙනවා. ජනවාරි මස ලබා ගත් සිම්පතක අයිතිකරු කවුද යන්න තහවුරු වී නැහැ. ඔහු සොයා විමර්ශන සිදු කරනවා. පෙර සූදානමකින් සිදු කළ බවට තහවුරු වී තිබෙනවා.මේ සැකකරු මීට පෙරත් මෙවැනිම වැරදි සිදු කර ඇප මත සිටින්නේ. අත්අඩංගුවට ගැනීමට නොහැකි වන සේ සැඟවී සිටියා. දුරකතන දත්ත මකා තිබුණා. ඒවා යළි ප්‍රතිස්ථාපනය කරමින් විමර්ශන සිදු කරනු ලැබුවා. සාක්ෂි වසන් කළා. මේ උඩුගත කිරීම නිසා සමාජය තුළ රජය සහ පොලිසිය ගැන විශාල කැලඹීමක් ඇති වී තිබෙනවා. කැරැල්ලක් ඇති කරන අදහසින් ඔහු මේ දේ සිදු කර තිබෙන්නේ.අරගලය අවස්ථාවේත් මෙවැනිම දේ සිදු කර තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල
මේ වීඩියෝව උඩුගත කර තිබෙන්නේ රටේ සිදු වූ සාමාන්‍ය සිද්ධියක් ලෙසින්. ප්‍රධාන නාළිකා ගණනාවක මේ සම්බන්ධයෙන් විකාශය වූවා. අදහස් පළ කර තිබෙන්නේ මොහු නෙමෙයි. බෙලිඅත්තේ වෙඩි තැබීම ගැනයි ප්‍රශ්න කරන්නේ. ඒ අය යොමු කළ වීඩියෝවක් මොහුගේ යූටියුබ් නාළිකාවේ විකාශය කර තිබෙනවා. එහි කිසිදු වගන්තියක් උල්ලංඝනය වීමක් පෙනෙන්නේ නැහැ.
මහේස්ත්‍රාත්වරයා – එසේ කිරීම වරදක්ද
පොලිසිය – සමාජයේ විශාල කැලඹීමක් ඇති වී තිබෙනවා.
නීතිඥ මඬුල්ල – වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.
මහේස්ත්‍රාත්වරයා – අදාළ වීඩියෝව තිබේද
පොලිසිය – ඉදිරිපත් කළ හැකියි ස්වාමිනි
නීතිඥ මඬුල්ල – (අදාළ වීඩියෝව ගූගල් හරහා ලබා ගෙන මහේස්ත්රාත්වරයාට ලබා දුන් අතර මහේස්ත්‍රාත්වරයා ඊට සවන් දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා – වීඩියෝ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනවා. හෙට දිනයේ සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි
නඩු විභාගය අද (31) තෙක් කල් තැබිණි.
සුභාෂිණී සේනානායක