මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට රැගෙන ඇවිත් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා රඳවා තබා ගැනීම සඳහා නිකුත් කළ හතරවැනි රැඳවුම් නියෝගයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට අවසර ලබා දීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කළේය.
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස සහ ඔහු රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව ඔහුගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම අවසරය දෙන ලදි.
අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියම වූයේ පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා පෙබරවාරි මස 22 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසය.
ප්‍රති විරෝධතා මාර්තු මස 15 වැනිදා ගොනු කිරීමට නියම කෙරිණ.
එසේම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණය සහ අභියාචනාධිකරණයේ අවසරය ලබා ගත යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන මාර්තු මස 15 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30) නියම කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදි.
පොලිස් මහජන පැමිණිලි ඒකකයේ පොලිස් පරීක්ෂක එස්.එච්.එස්.තුසිත කහගල්ලගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
138
කලින් පුවත