Home » ටික් ටොක් වීඩියෝවක් හදන්න යතුරුපැදිවල පිම්මේ ගිහින්

ටික් ටොක් වීඩියෝවක් හදන්න යතුරුපැදිවල පිම්මේ ගිහින්

by sachintha
January 31, 2024 12:42 am 0 comment

කෝරළඉමදී හැපී දෙදෙනෙක් රෝහලේ

 

ටික් ටොක් හි ප්‍රසිද්ධ කිරීම සඳහා ජංගම දුරකතනයකින් පටිගත කිරීමක් කරමින් යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණයන් දෙදෙනකු හොරණ කෝරළඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. අනතුරින් තුවාල ලැබූ දෙදෙනා වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු යතුරුපැදි තුනක් සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමඟ පලා ගොස් තිබේ.

මෙම තරුණයෝ දෙදෙනා තලංගම පදිංචිකරුවෝය. තලංගම සිට පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස මෙම තරුණයන් යතුරුපැදි හතරකින් කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරුපැදි ධාවනය කර තිබේ.

එහිදී අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඔවුන්ට ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදි තුන අධික වේගයෙන් ගමන් ගන්නා අයුරු ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇත. එවිට ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයන් අන්තරාදායක රිය පැදවීම යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත, පොලිස් සැරයන් (41013) කුලතුංග, පොලිස් කොස්තාපල් (100340) පුෂ්පකුමාර මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT