Home » වලස්මුල්ල මූලික රෝහලේ ලේ බැංකුව ජනතා අයිතියට: දැඩි සත්කාර ඒකකයට මිලියන 20ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකකුත්

වලස්මුල්ල මූලික රෝහලේ ලේ බැංකුව ජනතා අයිතියට: දැඩි සත්කාර ඒකකයට මිලියන 20ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකකුත්

by sachintha
January 31, 2024 12:42 am 0 comment

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල මූලික රෝහල් පරිශ්‍රයේ රුපියල් මිලියන 04කට අධික සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කළ අංගසම්පූර්ණ ලේ බැංකුව ජනතා අයිතියට පත් කිරීම සහ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුතු වෙන්ටිලේටර් යන්ත්‍ර 02ක් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලබා දුන්නේය.

මේ රෝහලේ 2018 වසරේ කර තිබූ 56ක් වූ දරු උපත් සංඛ්‍යාව 2023 වසරේ 1066 දක්වා වර්ධනය වීම සහ 2018 වසරේ කර තිබූ සුළු සැත්කම් 114ක සංඛ්‍යාව 2023 වසර වන විට 3046ක් දක්වා ඉහළ අගයකට ගෙන ඒම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍යවරයාගේ ඇගයීමට ලක් කෙරිණි.

රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේ විශාල පරිවර්තනයක් කර ඇති බවත්, මෙරට කිසිදු දැඩි සත්කාර ඒකකයක දැක ගත නොහැකි සැලසුම්සහගත සේවාවක් රෝහලේ ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. නාරිවේද ප්‍රසව වාට්ටු, ළමා වාට්ටු ඇතුළු රෝහලේ සියලු අංශ ලබා දෙන සේවාව සෞඛ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් කෙරිණි.

2005 වර්ෂයේ ස්ථාපිත කළ රුධිර බැංකුව කිසිසේත් ප්‍රමාණවත් නොවීම හේතු කරගෙන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මේ නව රුධිර බැංකුව ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. වසර 100කට වඩා පැරණි වලස්මුල්ල රෝහල 2007 වසරේ දී “B” කාණ්ඩයේ මූලික රෝහලක් බවට පත් කර ඇත. මේ රෝහලේ 2023 වර්ෂයේදී දරු උපත් 1060 ක් සිදුව ඇති අතර, සැත්කම් 3046 ක් සිදු කර ඇත. අභ්‍යන්තර රෝගීන් 27,113කට අධික සංඛ්‍යාවකට සේවා සපයා ඇති අතර ඇඳන් භාවිත වීමේ ප්‍රතිශතය සියයට 102ක් දක්වාත් බාහිර රෝගීන් සංඛ්‍යාව 134,128 දක්වාත් සායනික රෝගීන් සංඛ්‍යාව 61,572 දක්වාත් රෝහල් ඉතිහාසයේ ඉහළම සංඛ්‍යා ලේඛන ප්‍රමාණය වාර්තා කර ඇත.

ක්‍රියාකාරි සැලැස්මකට අනුව 2019 සිට 2023 කාලය දක්වා රෝහලේ රෝගී සත්කාර සේවාවට අවශ්‍ය නව ගොඩනැඟිලි 06ක්, ශල්‍යාගාර සංකීර්ණයක්, ස්කෑන් ඒකකයක්, රසායනාගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, රුධිර කාන්දුපෙරන ඒකකයක්, නොමේරු ළදරු ඒකකයක්, නව සූතිකාගාරයක් සහිත මාතෘ සංකීර්ණයක්, නව ළමා වාට්ටු සංකීර්ණයක්, අක්ෂි ඒකකයක්, භෞත චිකිත්සක ඒකකයක්, සායන සංකීර්ණයක්, ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක්, ලේ බැංකුවක්, දන්ත ශල්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇත.

මෙහිදී වලස්මුල්ල මූලික රෝහලේ රෝගී සත්කාර සේවාව විශාල දියුණුවක් කරා රැගෙන යෑමට දායක වූ සුවිශේෂි පුද්ගලයන් ඇගයීමට ලක් කර සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණ.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල,ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීය සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) වෛද්‍ය ජනප්‍රිය කරුණාතිලක, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහත්ම මහත්මීන් ද, රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT