Monday, April 7, 2025
Home » යුද්ධයේදී ආබාධිත පොලිස් රණවිරුවන්‍ට පොලිස් රෝහලේ වෙනම කවුළුවක්

යුද්ධයේදී ආබාධිත පොලිස් රණවිරුවන්‍ට පොලිස් රෝහලේ වෙනම කවුළුවක්

by chanaka
January 30, 2024 4:33 pm 0 comment

ආබාධිත පොලිස් නිලධාරීන්ට බලපාන විශ්‍රාම වැටුප්, අනෙකුත් දීමනා සහ ඔවුන්ගේ සුබසාධක කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කරන ලදී.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා, ගැලපෙන කාලයට උසස් වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එහිදී පොලිසියේ ආබාධිත වු නිලධාරියාට වැටුප සැකසීමේදී සේවයේ සිටියා සේ සලකා අවුරුදු 55 වන තෙක් වැටුප් හා දීමනා ගෙවීම සිදු කරන බවත් මෙහිදී තුවාල ලැබු නිලධාරියාට ඊළඟ තනතුරට උසස්වීමක් ද ලබා දී අවුරුදු 55 වන විට ලැබිය යුතු නියමිත වැටුප් තලවල පිහිටුවා විශ්‍රාම වැටුප ලබාදෙන බව පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීහු ප්‍රකාශ කලහ. කෙසේ වෙතත් තමන් සේවයේ යෙදී සිටියා නම් ලැබීමට නියමිතව තිබු උසස්වීමට අදාළ තනතුරු නාමය ද එයට අනුරූපී වැටුප ද සමඟ ලබාදෙන ලෙස ආබාධිත පොලිස් නිලධාරීන්ගේ නියෝජිතයින් කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.

ආබාධිත පොලිස් නිලධාරීන්ගෙන් දැනටමත් සැහැල්ලු රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් කොටසක් සිටින බවත් ඔවුනට අසාධාරණයක් නොවන පරිදි සේවයේ යෙදී නොසිටින කොටසට නියමිත උසස්වීම ලබා දිය යුතු බව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හු පැවසූහ. එමෙන්ම දැනට මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විමර්ශනයක් සිදු කරන බවත් එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව ඉදිරියේදි සුදුසු තීරණයක් ගැනීමට අදහස් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් කරන ලදී.

පොලිස්පති චක්‍රලේඛ 06/2006 හා 24/2013 පරිදි ප්‍රභූ ආරක්ෂක ඒකක, රාජ්‍ය බුද්ධි සේවය, ඇතුළු විශේෂ ඒකකවලට පමණක් ගෙවීම් කරනු ලබන වැටුපෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේක 21/88 සහ අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 1982 (305) ට අනුව යුද ආබාධිත,වයස පනස් පහ දක්වා වැටුප් ලබන නිලධාරීන් හටද ගෙවන ලෙස ද ආබාධිතව විශ්‍රාම ගොස් සිටින පොලිස් රණවිරුවන් විසින් මෙහිදී ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී, විශේෂ ඒකකවල සේවය කරන නිලධාරීන් සිදු කරන විශේෂ වු රාජකාරිය සහ එහි ඇති අවදානම පදනම් කරගෙන මෙම දීමනාව ලබාදෙන බව අනාවරණය විය. කෙසේ වෙතත් විශේෂ ඒකකවල සේවය නොකරන නිලධාරීන්ට ද මෙම දීමනාව ලබාදෙන බවත් ඒ සඳහා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට හැකි බවත් ආබාධිත පොලිස් රණවිරු නියෝජිතයින් මෙහිදී අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙලෙස වැරදි ලෙස දීමනා ලබාදෙන විශ්‍රාමික ආබාධිත නිලධාරීන් පිළිබඳව විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන් ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර සටනේදී ආබාධිත පොලිස් රණවිරුවන්‍ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසට ද කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

එමෙන්ම යුද්ධයේදී ආබාධිත විශ්‍රාමික නිලධාරීන් සඳහා ද පූර්ණ භූමි හා දේශපත්‍ර පදක්කම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් අවිවාහක ආබාධිත නිලධාරීන් වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගිය පසු විවාහ වූ විට බිරිඳ වැන්දඹු අනත්දරු සාමාජිකත්වයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ආංශික අධීක්ෂණ කාරක සභාව අදාල නිලධාරීන් උපදෙස් ලබාදෙන ලදී.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චන්න ජයසුමන, මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් යන මහත්වරුන් ඇතුළු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ, පොලිසියේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් හභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT