Home » මාලදිවයින හා කටුනායක අතර ගිලන් ගුවන් සේවයක් ළඟදීම

මාලදිවයින හා කටුනායක අතර ගිලන් ගුවන් සේවයක් ළඟදීම

by yasara
January 30, 2024 3:38 pm 0 comment

මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්( Capt. Mohamed Ameen) මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ( 30 ) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදු වන හදිසි අනතුරු සහ රෝගාතුර වීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රි ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙයි

මාලදිවයින ගුවන්සේවා අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා මාලදිවයින් වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගිය බවත්, එහෙත් ශ්‍රි ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතු වල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රි ලංකාවේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා එවීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බවයි.

මෙම වැඩපිලිවෙල පිලිබඳව අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර පලමු අදියර යටතේ මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපල අතර මෙම ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස පළමු වැනිදා සිට ආරම්භ කීරීමට තීරණය කර තිබෙයි.

එම කටයුතු සඳහා අවශ්‍ය සියලු අනුමැතිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන් තොටුපල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ බලධාරීන්ට ලබා දුන් අතර ඒ සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටත් ,එම ඒකකය සඳහා අවශය සියලු පහසුකම් ලබා දීමටත්, කටයුතු කරන ලෙසට අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාට උපදෙස් දී ඇත.

ඉදිරියේදී රත්මලාන ගුවන් තොටුපල සහ මාලේ අතර මෙවැනිම සේවාවක් ආරම්භ කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ මාලදිවයින් නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමාත් ගිනා(Fathimath Ghina) අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. ඒ.ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT