Home » වලස්මුල්ල රෝහලට ලැබුණු අලුත්ම තෑග්ග

වලස්මුල්ල රෝහලට ලැබුණු අලුත්ම තෑග්ග

by yasara
January 29, 2024 11:44 am 0 comment

හම්බන්තොට වලස්මුල්ල රෝහලට රුපියල් මිලියන 04 කට අධික මිලියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කළ අංග සම්පූර්ණ ලේ බැංකුව ජනතා අයිතියට පත් කිරිම සහ දැඩ්සත්කාර එකකයට රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුතු වෙන්ටිලේටර් යන්ත්‍ර 02 ක් ලබාදීම පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙිනි.

මෙම රෝහලේ 2018 වසරේ සිදුකර තිබු 56 ක් වූ දරු උපත් සංඛ්‍යාව 2023 වසර තුළ 1066 දක්වා වර්ධනය වීම සහ  2018 වසරේ සිදු කර තිබූ සුළු ශල්‍යකර්ම 114 ක ප්‍රමාණය 2023 වසර වන විට 3046 ක් දක්වා ඉහළ අගයකට ගෙන ඒම  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍යවරයාගේ ඇගයීමට ලක් වූ අතර,  රෝහල් අධ්‍යක්ෂතුමා රෝහලේ විශාල පරිවර්ථනයක් සිදු කර ඇති බවත්, මෙරට කිසිදු දැඩ්සත්කාර ඒකකයක දැකගත නොහැකි සැළසුම් සහගත සේවාවක් දියත්වන බවත්, නාරිවේද ප්‍රසව වාට්ටු, ළමා වාට්ටු ඇතුලු රෝහලේ සියළු අංශ ලබාදෙන සේවාව මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

2005 වර්ෂයේ ස්ථාපිත කරන ලද රුධිර බැංකුව කිසිසේත් ප්‍රමාණවත් නොවීම හේතු කොටගෙන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම නව රුධිර බැංකුව ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇත.

වසර 100 කට වඩා පැරණි වලස්මුල්ල රෝහල 2007 වසරේ දී “B” කාණ්ඩයේ මුලික රෝහලක් බවට පත් කර ඇත.

මෙම රෝහල තුල 2023 වර්ෂය තුළ දරු උපත් 1060 ක් සිදුව ඇති අතර, ශල්‍යකර්ම 3046 ක් සිදු කර ඇත. අභ්‍යන්තර රෝගීන් 27,113 කට අධික සංඛ්‍යාවකට සේවා සපයා ඇති අතර, ඇඳන් භාවිතාවීමේ ප්‍රතිශතය 102% දක්වාත් බාහිර රෝගීන් සංඛ්‍යාව 134,128 දක්වාත්, සායනික රෝගීන් සංඛ්‍යාව 61,572 දක්වාත් රෝහල් ඉතිහාසයේ ඉහළම සංඛ්‍යාලේඛණ ප්‍රමාණය වාර්තා කර ඇත.

ක්‍රියාකාරි සැළැස්මකට අනුව 2019 – 2023 වු කාලය දක්වා රෝහල තුල රෝගී සත්කාර සේවාවට අවශ්‍ය නව ගොඩනැගිලි 06 ක්, ශල්‍යාගාර සංකීර්ණයක්, ස්කෑන් ඒකකයක්, රසායනාගාරයක්, දැඩ්සත්කාර ඒ්කකයක්, රුධිර කාන්දුපෙරණ ඒකයක්, නොමේරු ළදරු ඒකයක්, නව සූතිකාගාරයක් සහිත මාතෘ සංකීර්ණයක්, නව ළමා වාට්ටු සංකීර්ණයක්, අක්ෂි ඒකකය , භෞත චිකිස්සක ඒකකයක්, සායන සංකීර්ණයක්, ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක්, ලේ බැංකුවක්, දන්ත ශාල්‍ය ඒකකය ස්ථාපිත කර ඇත.

මෙහිදී වලස්මුල්ල මුලික රෝහලේ රෝගී සත්කාර සේවාව විශාල දියුණුවක් කරා රැගෙනයාමට දායක වූ සුවිශේෂි පුද්ගලයින් ඇගයිමට ලක්කර සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීය සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) වෛද්‍ය ජනප්‍රිය කරුණාතිලක, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, යන මහත්ම මහත්මීන් මෙන්ම  රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් ඇතුලු රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT