Home » ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අපරාජිතයන්ගේ සටන හෙට
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අපරාජිතයන්ගේ සටන හෙට

by sachintha
January 27, 2024 12:33 am 0 comment

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (28) ඔස්ට්‍රේලියාවට එරෙහිව මූලික වටයේ අවසන් තරගයට එක් වෙයි.

මේ තරගය ‘සී’ කාණ්ඩයේ අපරාජිතයන්ගේ සටනක් බවට ද පත්ව තිබේ. මේ දෙපිලම මින් පෙර මූලික වටයේ සහභාගිවූ තරග දෙකම ජය ගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි කර ගෙන තිබේ.

පෙරේදා පැවති තරගයේදී ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 225ක දැවැන්ත ජයක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ 3.979ක දළ ලකුණු වේගයක් සමඟිනි. ශ්‍රී ලංකාව 1.611ක දළ ලකුණු වේගයකට හිමිකම් කියයි. කෙසේ වෙතත් මේ දෙපිලම මේ වන විටත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා සිටින අතර, මෙවර තරගාවලියේ 25 වැනි තරගය ලෙස හෙට පැවැත්වෙන තරගය ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තීරණය වන තරගය බවට පත්ව ඇත. මේ තරගය සමඟින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග නිමාවට පත් වෙයි.

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවති පළමු තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 39ක ජයක් හිමි කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 77ක ජයක් හිමි කර ගත්තේය. මේ තරග ද්විත්වයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක පිතිහරඹයක් දැක ගැනීමට නොහැකි වූහ. පළමු තරගයේදී දිනුර කලුපහනත්, දෙවැනි තරගයේදී සුපුන් වඩුගේත් අර්ධ ශතක රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. එබැවින් මේ තරගයේදී පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙනු ඇත. කෙසේ වෙතත් මේ තරගවලදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තම කාර්ය මැනවින් ඉටු කිරීමට සමත් වූහ.

සිම්බාබ්වේ පරාජය කිරීමට පෙර ඔස්ට්‍රේලියාව සිය පළමු තරගයේදී නැමීබියාව කඩුලු 4කින් පරාජය කිරීමට සමත් විය.

මේ අතර, තරගාවලියේ මූලික වටයේ තරග 16ක් නිමා වන විට (26 දා වන විට) ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, ‘බී’ කාණ්ඩයෙන් එංගලන්තය, ‘ඩී’ කාණ්ඩයෙන් පාකිස්තානය සහ නවසීලන්තය සුපිරි 6 වටයේ ස්ථාන වෙන් කර ගෙන තිබිණි.

මේ තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 16 කාණ්ඩ 4කින් තරග වදින අතර, අනතුරුව ඒ ඒ කාණ්ඩවල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 3 බැගින් කණ්ඩායම් 12ක් සුපිරි 6 වටයට එක් වෙයි. එම තරග කාණ්ඩ දෙකකින් පැවැත්වේ. එහිදී ‘සී’ කාණ්ඩයේ කණ්ඩායම් 3 ‘බී’ කාණ්ඩයන් මේ වටයට එක්වන කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT