Home » ත්‍රිරෝදය ප්‍රපාතයකට පෙරළී කතක් මරුට

ත්‍රිරෝදය ප්‍රපාතයකට පෙරළී කතක් මරුට

by sachintha
January 27, 2024 1:00 am 0 comment

කොස්ලන්ද – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල දේවාලයට නුදුරින් 212/7 බොක්කුව අසලදී පෙරේදා (25) රාත්‍රියේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පැවසුවේය.

රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි එච්. පී. චම්පා නිලන්ති කරුණාරත්න (54) නමැති කාන්තාව මෙසේ මියගිය බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුරින් ත්‍රිරෝද රථය පැද වූ රියැදුරු කේ. එම්. පාලිත කරුණාරත්න සමඟ ජී. එම්. තිලංකා නයෝමි, කේ. එම්. පලිගු භාසිත, කේ. එම්. මනෝලියා දම්සදි, කේ. එම්. ආකාශ් කරුණාරත්න යන පිරිස තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථය පැද වූ ත්‍රිරෝද රථ රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල සිරිගල රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය. මොවුන් එකම පවුලක පිරිසක් බවත් රත්නපුර ප්‍රදේශයේ සිට කොස්ලන්ද, ඌවමාවෙලගම, හිවල්කඳුර ප්‍රදේශයේ නෑදෑ නි‍ෙවසකට යමින් සිටියදී මෙසේ ත්‍රිරෝද රථය අනතුරට පත්ව ඇතැයි සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ හයදෙ‍ෙනකු ගමන් කර ඇති බවත් ප්‍රපාතයකට පෙරළී ගිය ත්‍රිරෝද රථය වළකට වැටී ඇති බවත් පොලිසිය තවදුරටත් පැවසුවේය. ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරි බී. ඇම්. ඇම්. දසනායක, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි 11 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද දිනේෂ් වික්‍රමසිංහ මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

සොරණාතොට සමූහ සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT